
ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතා කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (28) නියෝග කළා.
සැකකරුට ලක්ෂ සියයක ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් ද තහනම් කළා.
එමෙන්ම සැකකරුට ලක්ෂයක මුදල් ඇපයක් ද නියම කරනු ලැබුවා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කර ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සිද්ධිය සම්බන්ධයේ වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කළ බවයි.
තවද මෙම සිද්ධියට අදාලව ප්‍රවාහන කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිගෙන් ප්‍රකාශ ලබා ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.