
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ පා.ම.ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදී ඇත.
දරුවන් සමාජ මාධ්‍ය වේදිකාවෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථය වේ.
මෙම පනත මගින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකාවෙත ප්‍රවේශ වීම වැළැක්වීමට විෂය භාර අමාත්‍යවරයාට එනම්, ළමා කටයුතු අමාත්‍යවරයාට නියෝග පැනවීමට බලය ලැබේ.
එමෙන්ම දරුවෙකුට දිනකට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි කාලය සීමා කිරීමට හෝ භාවිත කළ හැකි නිශ්චිත වේලාවන් නියම කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ.
මෙම නීතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත්කිරීමට යෝජිතය.
පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙන බව ද එහි සඳහන්ය.