
ශ්‍රී ලංකාවේ විවෘත හා සාධාරණ මෙහෙයුම් ආකෘතියක් මත පදනම් වූ, නැගී එන ප්‍රවාහන සේවා (ride-hailing) වේදිකාවක් වන HelaGo, මෙරට ප්‍රවාහන ක්ෂේත්රය තුළ නව විනිවිදභාවයක් සහ සමානත්වයක් ඇති කරමින් සිය ව්‍යාප්තිය වේගවත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1ක (USD 1 Million) මූලික ආයෝජනයක් (seed funding) ලබා ගැනීමට සමත්ව ඇත.
මෙම ආයෝජනය ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ගෞරවනීය මෝටර් රථ ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය (David Pieris Group) සමඟ ඇති කරගත් හවුල්කාරිත්වයක් හරහා ය.
හේලාකුරු (Helakuru) පරිසර පද්ධතිය සිය 14 වසරක ගමන් මග තුළ බාහිර ආයෝජනයක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙම ප්‍රාග්ධන ආයෝජනය සහ මෙහෙයුම් ශක්තිය හරහා, රියදුරන් සහ මගීන් යන දෙපාර්ශවයේම යහපත උදෙසා ගොඩනැගුණු ප්‍රවාහන සේවාවක් යන සිය දැක්ම තවදුරටත් තහවුරු කරමින්, මුළු දිවයින පුරාම සිය සේවාවන් වේගයෙන් ව්‍යාප්ත කිරීමට HelaGo සූදානමින් සිටියි.