අපේ රටේ දේශපාලන නායකයන්ගේ සුවිශේෂී හමුවක් පසුගිය සතියේදී සිදුවුණා. මේ හමුවට හේතු වුණේ හිටපු ඇමතිවරයෙක් වන බන්දුල රචනා කළ "ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ" නමැති ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයයි.
රාජගිරියේ බැංකු විදු පියස ශ්‍රවණාගාරයේ පැවති මේ උත්සවයට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ප්රමුඛ භික්ෂූන් වහන්සේලා, රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ වැනි හිටපු ජනාධිපතිවරුන් ඇතුළු බොහෝ දේශපාලන නායකයෝ සහභාගී වුණා.
උත්සවයෙන් පසුව පැවති තේ මේසයේ සංවාදයට රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න සහ සුමේධා ජී. ජයසේන වැනි පිරිසක් එක්ව සිටියා.
එහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඉදිරි දේශපාලන වැඩපිළිවෙල ගැන කතාබහක් ආරම්භ කළා.
ඊට පිළිතුරු දෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසුවා "මේ අවුරුද්දේ අපි මොකුත් නොකර ඉමු. තව ඔහොම ආණ්ඩුවට යන්න දෙන්න. කරන්න ඕන දේත් වෙලාවත් මම කියන්නම්" යනුවෙන්.
එම ප්‍රකාශය සියලුම දෙනා අනුමත කළ අතර, රනිල් වික්‍රමසිංහ මහතා යම් කිසි සැලසුමක් අනුව කටයුතු කරන බවක් එයින් පැහැදිලි වුණා.
මේ සංවාදයේදී සජිත් තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බවට වූ ප්‍රකාශයක් ගැනත් කතාබහට ලක් වුණා. එහිදී බොහෝ නායකයන් ඒ ගැන අප්‍රසාදයෙන් කතා කරන ආකාරයක් දක්නට ලැබුනා.
එක් ප්‍රබල දේශපාලනඥයෙක් පැවසුවේ "එයා දැන් ඡන්ද කීයකට ඉදිරිපත් වුණාද? එයාට ජීවිතේට දිනන්න බෑ කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. එයා දැන් සජබෙටත් මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ" කියායි.
විපක්ෂය දුර්වල වීමට ප්‍රධානම හේතුව සජිත් බව ඔවුන්ගේ අදහස වුණා.
වැඩි දුරටත් ඔවුන්ගේ මතය වූයේ කිසිදු දැක්මක් නැති නායකයන් සමඟ දකුණට කිසිම ගමනක් නැති බවයි.
මේ නිසා, සජබෙන් වෙන්වී හෝ එම ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලබා ගත යුතු බවට ඔවුන් අදහස් කළා.
අවසානයේදී රනිල් වික්‍රමසිංහ පැවසුවේ කලබල නොවී සිටින ලෙසත්, පක්ෂයේ සංවත්සර උත්සවයෙන් පසුව ප්රතිසංවිධාන කටයුතු ආරම්භ කරන බවත්ය. නාමල් රාජපක්ෂ පවා බිම් මට්ටමේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් රනිල් එහිදී සඳහන් කළා.
මෙම සිදුවීම් මාලාවෙන් පෙනී යන්නේ, ආණ්ඩුවේ අනාගතය පිළිබඳව විපක්ෂය තුළ වෙනමම උපක්‍රමශීලී සැලසුමක් ක්‍රියාත්මක වන බවයි.