
තරග පාවාදීමේ චෝදනා මත ලංකා ප්රිමියර් ලීග් (LPL) තරඟාවලියේ ජැෆ්නා කින්ග්ස් (Jaffna Kings) කණ්ඩායමේ හිමිකරුවෙකු ක්රීඩාවලට අදාළ වැරදි වැළැක්වීමේ ශ්රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (17) දිනයේ ආරම්භ වීමට නියමිතව ඇති 2026 ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ නිල සමාරම්භයට පෙර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය තහවුරු කළේය.
ක්රීඩාවලට අදාළ දූෂණ ක්රියා සම්බන්ධයෙන් ක්රියාත්මක වන විමර්ශනයකට අදාළව, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු ලෙස හඳුනාගත් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ක්රීඩාවලට අදාළ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරඟ පාවාදීම්, ස්පොට් ෆික්සිං (spot-fixing) සහ ක්රීඩාවේ සිදුවන වෙනත් අනිසි හැසිරවීම් අපරාධ ගණයට ඇතුළත් කර ඇති ශ්රී ලංකාව, ක්රීඩා දූෂණවලට එරෙහිව ලොව දැඩිම නීති පවතින රටකි. මෙහිදී වරදකරුවන් වන අයට විශාල දඩ මුදල් සහ බන්ධනාගාරගත කිරීම් වැනි දඬුවම්වලට මුහුණ දීමට සිදුවේ.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්රියාත්මක වන අතර, ඉදිරියේදී තවත් තොරතුරු නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය ප්රකාශ කළේය.