
ලොව පුරා රටවල් රැසකට නව වෙළෙඳ අවස්ථා සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සඳහා දොරටු විවර කරමින්, නවවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ වුණා.
මෙවර ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ, සංවර්ධිත රටවල සිට අවම සංවර්ධිත රටවල් දක්වා පුළුල් ජාත්‍යන්තර සහභාගීත්වයක් දක්නට ලැබීමයි.
ඒ අනුව ලොව පුරා විදේශීය ප්‍රදර්ශකයින් 4000කට අධික පිරිසක් මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටිනවා. ඒ අතරට ලොව ප්‍රමුඛතම සමාගම් පන්සියය ඇතුළත් Fortune Global 500 ලැයිස්තුවේ සමාගම් සහ ක්ෂේත්රයේ ප්‍රමුඛයන් 300කට අධික සංඛ්‍යාවක් ද ඇතුළත්.
එමෙන්ම, නව නිෂ්පාදන සහ ප්‍රදර්ශන අංග 500කට ආසන්න සංඛ්‍යාවක් ගෝලීය, ආසියානු හෝ චීන වෙළෙඳපොළට පළමු වරට හඳුන්වා දීම ද මෙවර කැපී පෙනෙන සිදුවීමක්.
මෙවර රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 70කට ආසන්න සංඛ්‍යාවක් ජාතික ප්‍රදර්ශන අංශයට සහභාගී වී සිටිනවා.
එහිදී මෝල්ඩෝවාව, රුමේනියාව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මෙවර ප්‍රදර්ශනයට පළමු වරට එක්වීම ද විශේෂත්වයක්.
එමෙන්ම මෙවර ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයක්. ඒ, කැනඩාව සමඟ එක්ව මෙවර ප්‍රදර්ශනයේ ගෞරවනීය ආරාධිත රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබීම හේතුවෙන්.
ශ්‍රී ලංකාව මෙම ගෞරවයට පාත්‍ර වූ පළමු අවස්ථාව ද මෙයයි. ඒ අනුව, අද පස්වරුවේ ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශන කුටිය නිල වශයෙන් විවෘත කෙරුණා.
ලෝප්‍රකට ශ්‍රී ලංකාවේ තේ, නිල් මැණික්, කුළුබඩු, කජු මෙන්ම සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිෂ්පාදන රැසක් ද එහිදී ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා.
2018 වසරේදී ආරම්භ වූ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, ආනයන කේන්ද්‍ර කරගත් ලොව පළමු ජාතික මට්ටමේ ප්‍රදර්ශනය ලෙසයි සැලකෙන්නේ.
ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරමින්, චීන වෙළෙඳපොළ වෙත පිවිසීමට ලොව පුරා රටවලට නව අවස්ථා සලසා දෙන මෙම ප්‍රදර්ශනය, චීනයේ ඉහළ මට්ටමේ ආර්ථික විවෘතභාවය ප්‍රවර්ධනය කෙරෙන වැදගත් වේදිකාවක් බවට පත්ව තිබෙනවා.
විශේෂයෙන් ශ්‍රී ලංකාවට, සිය අපනයන පුළුල් කිරීමටත්, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් මෙය වැදගත් ජාත්‍යන්තර අවස්ථාවක් වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.