එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කොට තිබේ.
දේශීය හා ගෝලීය ආර්ථික ප්රවණතා හොඳින් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹුණු අතර, වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා ගෙන යාමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.
මාස 11ක් පුරා පැවති අවධමන තත්ත්වය නිමා කරමින්, 2025 වසරේ අගෝස්තු මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ධන අගයකට පත් විය.
2026 වසරේ මැද භාගය වන විට උද්ධමනය ක්‍රමයෙන් 5% ඉලක්කය දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දේශීය ඉල්ලුම ශක්තිමත් වීම හේතුවෙන් මූලික උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඉන් අනතුරුව එය මතුපිට උද්ධමන ඉලක්කයට ආසන්න අගයක ස්ථායී වනු ඇත. මධ්‍ය කාලීන උද්ධමන අපේක්ෂාවන් ද උද්ධමන ඉලක්කය වටා ස්ථායීව පවති.
2025 වසරේ පළමු භාගයේදී ආර්ථිකය 4.8%කින් වර්ධනය වී ඇති බවට ඇස්තමෙන්තු කර ඇත.
මෙම වර්ධන ප්‍රවණතාව 2025 වසරේ තුන්වන කාර්තුවේදීද අඛණ්ඩව පවතිනු ඇතැයි මූලික ආර්ථික දර්ශකවලින් පෙනී යයි.
2025 වසරේ මේ දක්වා කාලය තුළ පෞද්ගලික අංශයට ලබා දුන් ණය සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වී ඇති අතර, එය සියලු ආර්ථික අංශ වෙත පුළුල් ලෙස යොමු වී ඇත.
පොලී අනුපාතික පහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම මෙම ණය ප්‍රසාරණය හේතු විය.
පෞද්ගලික අංශයට ලබා දෙන ණය අඛණ්ඩව ප්‍රසාරණය වීම ඉදිරි කාලය තුළ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා තවදුරටත් සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වෙළඳ හිඟය පුළුල් වුවද, සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් වර්ධනය වීම නිසා විදේශීය අංශය ශක්තිමත්ව පැවතුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය ශුද්ධ පදනමින් මිලදී ගැනීම හේතුවෙන්, ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුවද, 2025 අගෝස්තු මාසය අවසන් වන විට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක මට්ටමක පවත්වා ගැනීමට හැකි විය.
ශ්‍රී ලංකා රුපියල බොහෝ දුරට ස්ථායීව පවතින අතර ණය ස්ථායීතාව ඉහළ යාම තහවුරු කරමින්, ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන කිහිපයක් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ඉහළ දමා ඇත.
ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් මේ වන විට ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ඇත.
මේ අතර, භූ දේශපාලනික අවිනිශ්චිතතා තවදුරටත් පැවතියද, ගෝලීය මූල්‍ය තත්ත්වය ලිහිල් වී තිබේ.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය දේශීය හා ගෝලීය ආර්ථික ප්රවණතා සහ උද්ගත වන ආර්ථික අවදානම් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ඇත.
ආර්ථිකය එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහය වෙමින්ම, උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථාවර වීම සහතික කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සූදානම්ව සිටී.