
මෙම වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 ක්‍රිකට් තරගාවලියේ 6 වන අදියර සඳහා විදේශීය ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරන සියලුම රටවල් මෙන්ම සහකාර සාමාජික රටවල් කිහිපයක ක්‍රීඩකයින්ද මේ සඳහා ඇතුළත්.
කෙසේ වෙතත්, විශේෂ පරීක්ෂණ ක්‍රියාවලියකින් (Screening Process) අනතුරුව මෙම සමස්ත ක්‍රීඩකයින් පිරිසෙන් 310 දෙනෙකු පමණක් ජූනි 1 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක කෙටුම්පත් (Draft) සඳහා තෝරා ගැනීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්.
මෙවර තරගාවලිය සඳහා රටවල් 21ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති අතර, පූර්ණ සාමාජික රටවල් අතරින් වැඩිම ක්‍රීඩකයින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්ථානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන රටවලින්.
ඒ අනුව, පාකිස්ථානය: ක්‍රීඩකයින් 102, බටහිර ඉන්දීය කොදෙව්: ක්‍රීඩකයින් 75, දකුණු අප්‍රිකාව: ක්‍රීඩකයින් 66, බංග්ලාදේශය: ක්‍රීඩකයින් 48, නවසීලන්තය: ක්‍රීඩකයින් 41, ඕස්ට්‍රේලියාව: ක්‍රීඩකයින් 24, එංගලන්තය: ක්‍රීඩකයින් 15, ඉන්දියාව: ක්‍රීඩකයින් 12 ලෙස ඇතුළත්.
මීට අමතරව, සහකාර සාමාජික රටවල් අතරින් ඇමරිකා එක්සත් ජනපදය (USA), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ අයර්ලන්තය යන රටවලින් වැඩිම ලියාපදිංචියක් වාර්තා වී ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය, එළඹෙන ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.