
කලාපය පුරා පවතින යුද වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් කටාර්, බහරේන් සහ කුවේට් ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් සිය ගෑස් අපනයනය සම්බන්ධයෙන් 'අප්‍රතිහත බලපෑම්' (Force Majeure) තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කලාපය තුළ පවතින අමෙරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලට එල්ල වන බාධා මෙයට සෘජුවම බලපා තිබෙනවා.
මෙම අර්බුදය හමුවේ මාර්තු 02 වැනිදා සිය ගෑස් ද්‍රවීකරණ (Liquefaction) කටයුතු අත්හිටුවමින් නිෂ්පාදනය නතර කිරීමට 'කටාර් එනර්ජි' (QatarEnergy) සමාගම මුලින්ම පියවර ගත් අතර, එය ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ දැඩි කැලඹීමක් ඇති කර ඇති බව සඳහන්.
ඉන් දින කිහිපයකට පසුව කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව සහ බහරේනයේ 'බැප්කෝ එනර්ජීස්' (Bapco Energies) සමාගම ද සිය අපනයන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව ද සිය බලශක්ති අවශ්‍යතා කළමනාකරණය කර ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින අතර, පවතින ගෑස් තොග ප්‍රමුඛතා ක්ෂේත්‍ර වෙත පමණක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.
ගෝලීය තෙල් සහ ගෑස් වෙළෙඳපොළට මෙම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙනවා.