
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සමාව ලබාදීම සම්බන්ධයෙන් එවකට පැවති රජය ගත් තීරණය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ කරුණු පැහැදිලි කර තිබෙනවා.
කොළඹ මල් පාරේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයේ පැවති නීතීඥ හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඥාණසාර හිමියන්ට සිරදඬුවම් නියම වීමෙන් පසු උන්වහන්සේගේ සිවුර ඉවත් කරන්නේද, නැතහොත් සමාව ලබාදී නිදහස් කරන්නේද යන කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බවයි.
හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේදී බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඥාණසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ බවත්, එම අවස්ථාවේදී උන්වහන්සේ බන්ධනාගාරගත කරන විට සිවුර ඉවත් නොකළ බවත් රනිල් වික්රමසිංහ සඳහන් කළා.
එවකට අධිකරණ අමාත්යවරිය වූ තලතා අතුකෝරළ, කොටපිටියේ රාහුල හිමියන්ට යොමු කළ ලිපියක් තමන් සතුව පවතින බවත්, එහි සිවුර ඉවත් නොකරන බවට පොරොන්දුවක් සඳහන් වූ බවත් ඔහු පැවසුවා.
වසරක් පමණ ගතවීමෙන් පසු භික්ෂූන් වහන්සේලා පිරිසක් තමන් හමුවී, අධිකරණයට බාධා කිරීම වැනි ක්රියාවක් හේතුවෙන් පමණක් සිවුර ඉවත් කිරීම සුදුසු නොවන බවට කරුණු පැහැදිලි කළ බව ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.
එහිදී මතු වූයේ ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කර බන්ධනාගාරයේ තවදුරටත් රඳවා තබන්නේද, නැතහොත් වසරක පමණ කාලයක් ගතවීමෙන් පසු සමාව ලබාදී නිදහස් කරන්නේද යන ප්රශ්නය බව ඔහු සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කළ බවත්, කැබිනට් මණ්ඩලය තුළද මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් රනිල් වික්රමසිංහ පැවසුවා. ඒ අනුව, ආගමික හා විනය සම්බන්ධ ගැටලුවක් තවදුරටත් උග්ර වීම වැළැක්වීම සඳහා සමාව ලබාදී නිදහස් කිරීමට තීරණය කළ බවයි ඔහු ප්රකාශ කළේ.
එම සමාව ලබාදීම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ නවවැනි වගන්තිය යටතේ සිදුකළ බව ද ඔහු සඳහන් කළා.
වෙසක් දිනය සහ නිදහස් දිනය වැනි අවස්ථාවලදී සිරකරුවන්ගේ දඬුවම් කාලය අඩු කිරීම හෝ ඔවුන් නිදහස් කිරීම සාමාන්යයෙන් සිදුවන බවත්, එවැනි තීරණ සම්බන්ධයෙන් සෑම අවස්ථාවකදීම ලිඛිත හේතු දැක්වීමක් සිදු නොවන බවත් රනිල් වික්රමසිංහ පැවසුවා.
එවකට අධිකරණ අමාත්යවරයා වූ විජයදාස රාජපක්ෂ බන්ධනාගාර පිරී ඉතිරී යාමේ ගැටලුව සම්බන්ධයෙන් කරුණු දැක්වූ බව සඳහන් කළ ඔහු, වෙසක් දිනය වෙනුවෙන් හැකි පිරිසකට සමාව ලබාදෙන ලෙස තමන් වාචිකව උපදෙස් දුන් බව ද කියා සිටියා.
ඥාණසාර හිමියන් සම්බන්ධ සිද්ධියෙන් අනතුරුව මතු වූයේ උන්වහන්සේට දඬුවම් කිරීම පිළිබඳ ප්රශ්නයට වඩා, ආගමික හා භික්ෂු විනය සම්බන්ධ කරුණක් බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් බෞද්ධ මතය ඉදිරිපත් වූ බව සඳහන් කළ රනිල් වික්රමසිංහ, එය ආගමික ප්රශ්නයක් බවට පත්ව ඇති අවස්ථාවක ඊට විරුද්ධව ක්රියා කිරීම පිළිබඳව ද සිය අදහස් පළ කළා.