
මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි සිටි ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එමෙන්ම මෙම අනතුරට පත් ධීවරයින් සෙවීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇත.
ඊයේ (31) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව මුලින්ම අනාවරණය වී ඇත්තේ වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් කරන ලද දැනුම්දීමකට අනුවය.
කෙසේ වුවත්, මෙම සිදුවීමෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය තවත් ධීවර යාත්‍රා 3ක් අතුරුදන්ව ඇති බවට අනාවරණය වී තිබේ.
මේ වන විට අනතුරට ලක්වූ එක් යාත්‍රාවක සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් මීගමුව වෙරළ තීරයට ගොඩගසා ඇති අතර, එම යාත්‍රාවේම ගමන් කළ තවත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අතුරුදන් වූ ධීවරයින් සහ යාත්‍රා සෙවීම සඳහා නාවික හමුදාව සතු ඩෝරා යාත්‍රාවක් හා විශේෂ කිමිදුම්කරුවන් කණ්ඩායමක් ද යොදවා ඇති අතර, ගුවන් හා නාවික අංශ එක්ව මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.