
සෞදි අරාබි රාජධානියේ ශ්රී ලංකා තානාපති ඕ. එල්. අමීර් අජ්වාඩ් මහතා, දම්මාම් මධ්යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසා මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලු බව විදේශ අමාත්යංශය පවසනවා.
රියාද් නගරයේ සිට කිලෝමීටර් 450ක් පමණ දුරින් පිහිටි දම්මාම් මධ්යම බන්ධනාගාරය වෙත ශ්රී ලංකා තානාපතිවරයා පෙරෙදා ගොස් ඇති බව සඳහන්.
මෙම හමුවේදී තානාපතිවරයා අනෝජන් සිවරාසා සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වෙමින් ඔහුගේ අවශ්යතා සහ ගැටලු පිළිබඳව සොයා බලා තිබෙනවා.
ශ්රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ මඟපෙන්වීම යටතේ ඔහුට ලබාදිය හැකි සියලුම කොන්සියුලර් සහ නීතිමය සහාය ලබාදීමට තානාපති කාර්යාලය කැපවී සිටින බවද තානාපතිවරයා යළි අවධාරණය කළේය.
එමෙන්ම, අවශ්ය අවස්ථාවලදී සෘජුව සම්බන්ධ වීමේ පහසුව සැලසීම සඳහා තානාපතිවරයා සිය සම්බන්ධතා තොරතුරුද අනෝජන් සිවරාසා මහතා වෙත ලබාදි ඇත.
මෙම හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් තානාපති අමීර් අජ්වාඩ් මහතා සඳහන් කළේ අනෝජන් සිවරාසා මහතා යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔහුගේ සෞඛ්යය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් සෞදි බන්ධනාගාර බලධාරීන් අවශ්ය අවධානය යොමු කරමින් සිටින බවත්ය.
මෙම සංචාරය සඳහා සහයෝගය ලබාදෙමින් බන්ධනාගාරයට ඇතුළුවීමට අවශ්ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් දම්මාම් මධ්යම බන්ධනාගාරයේ අධ්යක්ෂවරයාට සහ බන්ධනාගාරයේ වෛද්යවරයාටද තානාපතිවරයා සිය ස්තුතිය පළ කර සිටියා.
අනෝජන් සිවරාසා මහතාගේ සෞඛ්යය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඔවුන් ලබාදෙන රැකවරණය හා අවධානය පිළිබඳවද ඔහු සිය ප්රසාදය පළ කරනු ලැබුවා.
මේ අතර, අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනා ක්රියාවලියට අදාළවද ශ්රී ලංකා තානාපති කාර්යාලය අවශ්ය සහාය ලබාදෙමින් සිටින බව සඳහන් වේ.