
බෙකන්හැම් හිදී ඉරිදා පැවැති දෙවන 20-20 පුහුණු තරගයෙන් ඩක්වර්ත්-ලුවිස් (DLS) ක්‍රමවේදයට අනුව කඩුලු නවයකින් පරාජයට පත්වෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත 'ලයන්ස්' කණ්ඩායම හමුවේ අඛණ්ඩව දෙවන වරටත් බරපතල පරාජයක් ලැබීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 156 ක් රැස් කළේය. පසුව වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට පන්දුවාර අටකින් ලකුණු 73 ක සංශෝධිත ඉලක්කයක් හිමිවූ අතර, පන්දු 10 ක් ඉතිරිව තිබියදී පන්දුවාර 6.2 කදී ලකුණු 76/1 ක් ලබාගනිමින් ඔවුන් පහසු ජයක් වාර්තා කළේය.
කාමිල් මිෂාර පන්දු 18 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් ලබාගත් අතර, පැතුම් නිස්සංක පන්දු 16 කදී ලකුණු 23 ක් රැස් කළේය.
මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට සිය දෙවන පුහුණු තරගාවලියද අභියෝගාත්මක ලෙස අවසන් කිරීමට සිදු විය. මීට පෙර පැවැති පළමු 20-20 තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4 කදී ලකුණු 117 කට සීමා කරමින් කඩුලු නවයක ජයක් ලැබීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් 20-20 ජාත්‍යන්තර තරගාවලිය ආරම්භ වීමට ආසන්නව තිබියදී මෙම තරග ප්‍රතිඵල වාර්තා වී ඇත. තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් 15 වනදා සවුත්හැම්ප්ටන් හිදී ද, දෙවන තරගය සැප්තැම්බර් 17 වනදා කාඩිෆ් හිදී ද, තෙවන තරගය සැප්තැම්බර් 19 වනදා මැන්චෙස්ටර් හිදී ද පැවැත්වීමට නියමිතය.