
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක විදේශ ණය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) නිකුත් කළ වාර්තාව සත්‍යයෙන් අඩක් පමණක් හෙළි කරන, ඉහළ පෙළේ නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා සකස් කළ ලේඛනයක් බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, මෙම වංචාව පද්ධතිමය අසාර්ථකත්වයක් (Systemic Failure) ලෙස දක්වමින් රජය සහ ඉහළ නිලධාරීන් වගකීමෙන් මිදීමට උත්සාහ කරන බවයි.
මධ්‍යම මට්ටමේ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කරමින් පහළ නිලධාරීන් බිලිදීමට කටයුතු කර ඇති නමුත්, මහජන මුදල් පිළිබඳ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වන භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් අමාත්‍යවරයා වෙත චෝදනා එල්ල කිරීම මගහැර ඇති බවද එහි සඳහන්.
එමෙන්ම, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD) භාවිතා කළ කල්ඉකුත් වූ විද්‍යුත් තැපැල් සේවාදායක පද්ධති, Multi-Factor Authentication (MFA) වැනි මූලික තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්‍රමවේද නැතිකම පිළිබඳව KPMG සහ SL-CERT ආයතන ලබාදුන් පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැරීම මෙම සයිබර් ප්‍රහාරයට සෘජුවම මග පෑදූ බවද එජාපය පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිට නව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) වෙත වගකීම් සංක්‍රමණය වීමේදී පවතින ආරක්ෂිත ජාල ඉවත් කරමින් කටයුතු කිරීමත්, 2026 ජනවාරි මාසයේදී වංචාව සිදුවී මාස කිහිපයකට පසුව එනම් මාර්තු (09) මහ බැංකුව සහ PDMO අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් මගින් ඉහළ පාලනාධිකාරියේ දැඩි නොසලකා හැරීම පැහැදිලි වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.