
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ 2022 වසරේදී අත්අඩංගුවට ගෙන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කරනු ලැබුවා. 2022 වසරේ අගෝස්තු 18 වන දින කොළඹ ලිප්ටන් වටරවුම අසල පැවති විරෝධතාවයකින් පසුව, නිවෙස බලා යමින් සිටිය දී වසන්ත මුදලිගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට පියවර ගනු ලැබූ අතර, මෙම අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීති විරෝධී බව පවසමින් වසන්ත මුදලිගේ වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා. ආචාර්ය සෝභිත රාජකරුණා, අර්ජුන ඔබේසේකර සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, පෙන්වා දුන්නේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තරම් “සාධාරණ සැකයක්” තිබූ බව ඔප්පු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුට එරෙහිව විවෘත වරෙන්තු දෙකක් තිබූ බව පොලිසිය ප්‍රකාශ කළ නමුත්, එම වරෙන්තු මාස කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක නොකර තිබී හදිසියේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි දැඩි නීතියක් යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීම යුක්ති සහගත නොවන බව අවධාරණය කළ අධීකරණය, පෙත්සම්කාර වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට කරන ලද චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සහ නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බව ද සඳහන් කලා. ඒ අනුව, මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් නියම කර ඇති නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය යන්න හා 13 (1) වගන්තියෙන් නියම කර ඇති නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේ ය යන මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර, ඒ සම්බන්ධයෙන් එවකට පෑලියගොඩ පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ (8 වන වගඋත්තරකරු) වගකිව යුතු බව ද තීන්දු කරනු ලැබුවා. කෙසේ වෙතත්, මෙම තීන්දුව වසන්ත මුදලිගේට එරෙහිව පවතින අනෙකුත් නීතිමය කටයුතුවලට බාධාවක් නොවන බව ද අධිකරණය විසින් තීන්දුව ලබා දෙමින් සඳහන් කරනු ලැබුවා.