
"ගෙදර අල්මාරියේ සල්ලි අඩු වුණාම සල්ලි බාර ඉන්න කෙනා ඒ බව දන්නවානේ... බැංකුවේ මුදල් නැති වුණාම ඒ සම්බන්ධයෙන් යොදවා සිටි බැංකු නිලධාරීන් දන්නේ නැද්ද" යනුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (26) අධිකරණයෙන් විමසා සිටියා. පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා මෙලෙස විමසා සිටියා. මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දෙනා ලබන 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා. සිද්ධියට අදාල පස්වන සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවා. සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපට අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම මුදල් ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. පෞද්ගලික බැංකුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ එම බැංකුවට මෙම මුදල් වංචාව නිසා බිලියන 13.9ක පාඩුවක් සිදුව ඇති බවයි. " 2023/2024 අවධියේදී බැංකුවේ සිදු කරන ලද විගණන වාර්තා වලින් මෙලෙස බැංකුවෙන් මුදල් ගලා යෑමක් සම්බන්ධයෙන් අනාවරණය වී නැද්ද? බැංකුවේ සිටින පුද්ගලයෙක් විසින් බැංකුවේ පොදු ලේජර් ගිණුමේ තිබෙන මුදල් යම් පාර්ශවයක් විසින් ගෙන වෙනත් ආයෝජනයක් සිදුකර නැවත බැංකුවේ පොදු ලෙජරයේ තැන්පත් කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවාද?" යන්න මහේස්ත්‍රාත්වරයා බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් මෙලෙස විමසා සිටියා. එම අවස්ථාවේදී නීතිඥවරයා සඳහන් කළේ එසේ අනාවරණයක් සිදු වී නොමැති බවයි. " අවසාන වශයෙන් හුවමාරු වූ බව කියන මිලියන 380 ක මුදල එක දවසේම හුවමාරු වීම සිදුව තිබෙන බව සඳහන් කර තිබෙනවා... එතකොට මීට කලින් මෙසේ විශාල මුදලක් හුවමාරු උනේ නැද්ද? ඒ සම්බන්ධයෙන් ඔඩිට් සයිකල් ක්‍රමයක් තිබුණේ නැද්ද? මොකද ගෙදර අල්මාරියේ සල්ලි අඩුවුණාම සල්ලි භාරව ගෙදර ඉන්න කෙනා දන්නවනේ.... බැංකුවේ පොදු ලෙජර් ගිණුමේ සල්ලි වැඩි වුනාම ඒ සම්බන්ධයෙන් එන නිලධාරීන් දන්නෙ නැද්ද? මුදල් නැති වුණාම අයිතිකාරයා දැනගන්න ඕන....ඒ ක්‍රියාවලිය තියෙනවා හැබැයි ඒක බැංකුවේ ක්‍රියාත්මක වෙලා නෑ" යනුවෙන් මහේස්ත්‍රාත්වරයා අධිකරණයට පවසා සිටියා. "සිද්ධියට අදාළව තවත් ගිණුම් දහනවයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා... තවද අවිනිශිත ගිණුම් මගින් පිටරටට ගිය මුදල් සම්බන්ධයෙන්ද විමර්ශනය කරනවා ඊට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන්ද විමර්ශනය කරනවා" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා. එම බැංකුවේ සිදු කරන ලද අභ්‍යන්තර හා බාහිර විගණන වාර්තාවල ප්‍රශ්නගත සිද්ධියට අදාල අංශයේ කිසිදු විගණන වාර්තාවක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය පසුගිය නඩු වාරයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ දන්වා සිටියා. එම බැංකුවේ සිදු කරන ලද අභ්‍යන්තර , බාහිර විගණන සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන විගණන වාර්තාවලින් ද ප්‍රශ්නගත සිද්ධියට අදාල ගෙවීම් හා පියවීම් අංශයේ විගණන කිසිවක් ඇතුළත් කර නොමැති බව පරිගණක විමර්ශන ඒකකය පෙර නඩු දිනයේදී අධිකරණයට දැන්වුවා. සිද්ධියට අදාල විමර්ශන ප්‍රගතිය මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා. සිද්ධියට අදාල නඩුව ලබන 10 කැදවීමට නියමිතයි.