
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කරන ලද බව කියන සිද්ධියට අදාළව පොලිසිය සිදු කරන විමර්ශන පිළිබඳව නීතීපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. රජයේ අධිනීතීඥවරිය මේ බව ප්‍රකාශ කළේ, මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ අද ( 26) යළි කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පළමු වරට පෙනී සිටිමිනි. මෙම අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව මූලස්ථාන පොලිසියෙන් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය සම්බන්ධ සිදු කළ මුල් DNA පරීක්ෂණයට අදාළ වාර්තාව දැනටමත් ලැබී ඇති බවත්, දෙවන DNA පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවත්ය. විමර්ශනවලට අදාළව සැකකාර හිමිනමගේ, වින්දිත දැරියගේ සහ වින්දිත දැරියගේ මවගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගෙන දැනටමත් අධිකරණයට භාර දී ඇති බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහිදී සඳහන් කළා. එමෙන් ම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව අධිකරණයට දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරි විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ, මෙම සිද්ධිය තවමත් විමර්ශන අවධියේ පවතින නිසා විශේෂ කරුණු දැක්වීමක් සිදුකිරීමට තමන් අපේක්ෂා නොකරන බවයා. විමර්ශවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන්නැයි පොලිසිය කළ ඉල්ලීමට තම එකඟතාව පළ කරන බව ද ජනාධිපති නීතීඥවරයා සඳහන් කළා. දැරිය මේ වන විට මනෝ උපදේශනය සඳහා යොමු කරමින් "යහපත්ව, ඉතාමත් ආරක්ෂිත ලෙස" පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ රඳවා සිටින බව වින්දිත දැරිය අධීක්ෂණය කරන පරිවාස නිලධාරිනිය සඳහන් කළා. දැරිය රඳවා සිටින ස්ථානය පිළිබඳව හෙළි කිරීමට පරිවාස නිලධාරිනිය උත්සහ කළ අවස්ථාවේ, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට දැනුම් දුන්නේ දැරිය රඳවා සිටින ස්ථානය හෙළි නොකරන ලෙසය. සියලු පාර්ශව වල කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසට නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරමින්, නඩුව එලැඹෙන අගෝස්තු මස 21 වන දින යළි කැඳවීමට නියෝග කළා. එමෙන් ම, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නිට්ටඹුව පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අගෝස්තු 21 වන දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට සහ වින්දිත දැරියගේ මවට නියෝග කරනු ලැබුවා. සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ 1995 අංක 22 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 365 ආ(2)ආ වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම සහ 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 364(2)(ඉ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණයක් කිරීමේ චෝදනා යටතේය . මේ අතර, බාලවයස්කාර වින්දිත දැරියගේ මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ 2006 අංක 16 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 360(ඇ)(1)(අ) වගන්තිය ප්‍රකාරව තැනැත්තන් වෙළෙඳාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට ඉහත වැරදි සිදුකිරීම සඳහා ආධාර අනුබල ලබා දීම යටතේය. පැමිණිල්ල වෙනුවෙන් නිට්ටඹුව සහකාර පොලිස් අධිකාරිවරයා සමග නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන, එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය පොලිස් පරීක්ෂක වසුන්දරා කරුණාරත්න, අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර, අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර, ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිනිනී හිටපු මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ ඇතුළු නීතී නිලධාරීහු පෙනී සිටියා. සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් නීතීඥවරුන් වන හේමන්ත ගමගේ, රංජිත් රාජකරුණා, චාන්දනී හටන්ගල, මහේෂ් කොටුවැල්ල, සජීව ගුණරත්න, ආරියරත්න වික්‍රමආරච්චි, මදාරා විජේසිංහ, කාලිංග රවීන්ද්‍ර, ධනුෂ්ක දහම්පත් සමග ජනාධිපති නීතීඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස සහ අනුජ ප්‍රේමරත්න පෙනී සිටියා. මෙම නඩුවේ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දෙවන සැකකාර වින්දිත දැරියගේ මව ද මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියා. අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද, අභයගිරිය චෛතරාමාධිපති මහාචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි, ලංකාරාමාධිපති පූජ්‍ය රලපනාවේ ධම්මජෝති සහ ථූපාරාමාධිපති ඥානින්ද යන හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් ද මෙම නඩුව දැක බලා ගැනීම සඳහා විවෘත අධිකරණයේ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි. එමෙන් ම වනජීවී නිලධාරීන් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින ජය ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ද මෙම නඩුව දැක බලා ගැනීම සඳහා පැමිණ සිටියා.