
රජයට හිඟව පවතින බව කියන රුපියල් මිලියන 5,800 ක වැට් (VAT) බදු මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිම කරනවාද නැද්ද යන්න පිළිබඳව වහාම අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂ අර්ජුන ජෝසප් ඇලෝසියස් මහතාට නියෝග කළා. මෙම නියෝගය නිකුත් කෙරුණේ, නොගෙවා පැහැර හැර ඇති බව කියන වැට් බදු මුදල් අය කර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා සමාගමේ අධ්යක්ෂවරුන් විත්තිකරුවන් කරමින් පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදීය. විත්තිකාර පාර්ශ්වය 2023 පෙබරවාරි මාසයේ සිට මාසිකව රුපියල් මිලියන 5 බැගින් හිඟ බදු මුදල් ගෙවීමට සහනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියද, එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා ඇති අතර නිෂ්පාදනාගාර බැංකු මඟින් වෙන්දේසි කිරීමට යොමු කර ඇති බැවින් සමාගම දැඩි මූල්‍ය දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවයි. එබැවින් හිඟ බදු මුදල් වාරික සංශෝධනය කර ගෙවීමට අවසර ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියා. දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව හිඟ බදු මුදල් අය කර ගැනීම සඳහා නඩු පහක් ගොනු කර ඇති බවයි. තවද, 2019–2020 බදු වර්ෂවලට අදාළ බදු නොගෙවීම සම්බන්ධ නඩුවක් අභියාචනාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවද ඔහු සඳහන් කළා. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, බදු ගෙවීමට නියමිත කාලය බොහෝ කලකට පෙර ඉක්මවා ඇති අතර, හිඟ මුදලද ඉතා විශාල බැවින් තවදුරටත් සහන ලබා දීමට හේතුවක් නොපෙනෙන බවයි. ඒ අනුව, හිඟ බදු මුදල් නිසි පරිදි ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විත්තිකාර සමාගමට නියෝග කළා. මෙම අවස්ථාවේදී, 2016–2017 බදු වර්ෂවලට අදාළව ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම නොගෙවා පැහැර හැර ඇති බව කියන රුපියල් මිලියන 996 ක බදු මුදල අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා ගොනු කළ නඩුවද කැඳවනු ලැබුවා. එහිදී විත්තිකරු අර්ජුන ජෝසප් ඇලෝසියස් අධිකරණයේ පෙනී සිටියා. නඩුවේ විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් 30 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.