
ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා සිංගප්පූරුවේදී පැවති Asia eCommerce Awards 2025 හිදී ‘විශිෂ්ටතම විකුණුම් වර්ධන ක්‍රමෝපාය’ කාණ්ඩය යටතේ රිදී සම්මානයකින් පිදුම් ලැබුවා.
මෙය ශ්‍රීලංකන් ගුවන් සේවය ආසියානු කලාපයේ විද්‍යුත් වාණිජ්‍ය සේවා ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම අතර රැඳවූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස දැක්විය හැකිය.
ඩිජිටල් ක්රමෝපායන් සහ නවෝත්පාදනයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණ වන අතර, විවිධ ක්ෂේත්රවලට අයත් ලොව ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක් නියෝජනය කළ ප්‍රවීණ වෘත්තිකයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් එහි ජයග්‍රාහකයන් තීරණය කෙරිණ.
මෙම සම්මානය පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (වාණිජ සේවා හා සහය) ගයාන් වික්‍රම මහතා සඳහන් කළේ, ගුවන් සේවා ක්ෂේත්රය වැනි නිරන්තරයෙන් වෙනස් වන ක්ෂේත්රයකට නව ආදර්ශ හඳුන්වා දෙමින් ඉදිරියට යාම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය ගන්නා උත්සාහය සම්මානයට පාත්‍ර වීම ගෞරවයක් වන බවයි.
“ගුවන් සේවා ක්ෂේත්රය වැනි නිරන්තරයෙන් වෙනස් වන ක්ෂේත්රයකට නව ආදර්ශ හඳුන්වා දෙමින් ඉදිරියට යාම සඳහා අප ගන්නා උත්සාහය මේ ආකාරයට සම්මානයට පාත්‍ර වීම අපට මහත් ගෞරවයක්. පාරිභෝගිකයන්ගේ පහසුව වැඩිදියුණු කරන අතරම අපගේ ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා අප සෑම විටම ලොව විශිෂ්ටතම තාක්ෂණය භාවිතා කිරීමට උත්සාහ කරනවා. පසුගිය කාලය තුළ මෙම අරමුණු මූලික කරගනිමින් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට අපට හැකි වුණා. එම වැඩසටහන් බෙහෙවින් සාර්ථක වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරනවා.”
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ඩිජිටල් ව්‍යාපාරික ක්‍රමෝපාය යටතේ Google Ads ද භාවිතා කරමින් තම සන්නාමයට පුළුල් ප්‍රචාරණයක් ලබාදෙන අතරම, සෘජුව සිය වෙබ් අඩවිය හරහා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට පාරිභෝගිකයන් උනන්දු කරවීමට සමත් වී ඇත.
මේ සඳහා Google මගින් හඳුන්වා දී ඇති, AI තාක්ෂණය ද සහිත සුවිශේෂී සේවාවක් වන Power Pair භාවිතයට ගැනීමට ද ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කර තිබේ.
මෙමගින් ශ්‍රීලංකන් සන්නාමයට වැඩි ප්‍රචාරයක් ලබා දෙන අතරම, මිලදී ගැනීමක් සිදුකිරීමට සූදානමින් සිටින පාරිභෝගිකයන් වෙත වඩාත් පහසුවෙන් ළඟා වීමට හැකි වී ඇත.
මේ ආකාරයට නවීන තාක්ෂණය භාවිතා කිරීම තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවයට තම ප්‍රධාන වර්ධන ඉලක්ක පසුකර යමින්, ගෝලීය වෙළඳපොළවල් තුළ තම ඩිජිටල් ආවරණ පරාසය තවදුරටත් පුළුල් කරගැනීමට හැකි වී ඇත.
මාස කිහිපයකට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවය අන්තර්ජාලය හරහා වඩාත් කාර්යක්ෂම ලෙස ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ පහසුව ලබාදෙන, ජංගම දුරකථන ඔස්සේද පහසුවෙන් භාවිතා කළ හැකි Internet Booking Engine ක්‍රමවේදයක් දියත් කරන ලදී.
එයට ඇතුළත් කර ඇති AI තාක්ෂණය මගින් බලගැන්වෙන Chatbot සේවාව, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ක්ෂණිකව සේවාවන් ලබාදෙයි.
එමෙන්ම මෙතෙක් පැවති සුළු ප්‍රමාදයන් පවා අවම කරමින් ගනුදෙනු කිරීම පහසු කරන ස්වයංක්‍රීය ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ. මෙවැනි පියවර ඔස්සේ තම Booking Engine ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.
භාෂා 10 කට අධික සංඛ්‍යාවකින් සකස් කර ඇති ප්‍රධාන වෙබ් පිටු 60 කට අධික සංඛ්‍යාවක් හරහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ Booking Engine වෙත පිවිසිය හැකි වේ.
එමෙන්ම ඒ හරහා ගෙවීම් කිරීමේදී Visa, MasterCard, American Express, Diners Club, Discover, Alipay, WeChat Pay සහ UnionPay ඇතුළුව ජාත්‍යන්තර ගෙවීම් ක්‍රම රාශියක් භාවිතා කිරීමටද අවස්ථාව සලසා දී ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ගාස්තු වෙනස් නොවීමේ සහතික හෝ පොලී රහිත සැලසුම් සමගින් පහසු ගෙවීමේ ක්‍රමද තෝරාගත හැකි වේ. ඉදිරියේදීත් ගෝලීය ගෙවීම් සේවාවන් සමග අත්වැල් බැඳගනිමින් තම ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙනුවෙන්ද වඩාත් පුළුල් පරාසයක පැතිරුණු නව්‍ය හා පහසු ගෙවීම් ක්‍රම හඳුන්වා දීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගනිමින් සිටී.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෙන්කරවා ගැනීම් ඉතාමත් පහසු පියවර කිහිපයකින් සම්පූර්ණ කළ හැකි අතර, පාරිභෝගිකයන්ට ගුවන් ටිකට්පත්වලට අමතරව කැමති ආසන, ආහාරපාන සහ අමතර ගමන් මලු වැනි අතිරේක සේවාවන්ද ලබාගත හැකි වේ. මේ ආකාරයට එක් මිලදීගැනීමක් හරහා සේවාවන් කිහිපයක් එකවර ලබාගත හැකි වීම පාරිභෝගිකයන්ට ඉමහත් පහසුවකි. අවශ්‍ය නම්, සේවාවන් මිලදී ගත් පාරිභෝගිකයන්ට පසුව දින වෙනස් කිරීමද සිදුකළ හැක.
මේ සියල්ල හඳුන්වා දී ඇත්තේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා කාර්යක්ෂම ලෙස සපුරාලන අතරම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීමේ අරමුණින් වන අතර, එම අරමුණු සාර්ථක ලෙස සපුරාගැනීමට හැකි වීම හේතුවෙන් www.srilankan.com වෙබ් අඩවිය මේ වන විට සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.