
අසාධ්ය තත්ත්වයේ පසුවන කාවන්තිස්ස ඇතාට ප්රතිකාර කිරීමට තායිලන්ත වෛද්ය කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට පරිසර අමාත්යාංශ අනුමැතිය හිමිව තිබේ.
මෙරට සිටින විශාලතම සහ උසම වන හස්තියෙකු ලෙස ප්රකට කාවන්තිස්ස මහ ඇතු අද (16) උදෑසන සියඹලන්ගමුව ප්රදේශයේ ඇදවැටී සිටියදී හමුවී තිබේ.
ගල්ගමුව ප්රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතුව තිබූ අතර, ඔහුගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්රතිකාර ආරම්භ කර තිබුණි.
පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව පශු වෛද්ය කණ්ඩායම් පවසනවා.
මේ අතර, ගල්ගමුව, ගිරිබාව සහ මීගලෑව ඇතුළු ප්රදේශවල සැරිසරන කාවන්තිස්ස ඇතා පිළිබඳව සියලුම වනජීවී කාර්යාල ඉහළ අවධානයකින් පසුවන ලෙස පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට පෙරේදා උපදෙස් ලබා දී තිබුණා.
ඇතාගේ සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ප්රතිකාර කටයුතු විධිමත් කිරීම සඳහා අමාත්යවරයා ඊයේ (15) විශේෂ නිරීක්ෂණ සංචාරයක ද නිරත වී තිබෙනවා.
කෙසේ වෙතත්, පශු වෛද්ය කණ්ඩායම් පවසන්නේ පාදයේ තුවාලය සුව වී තිබුණත්, ඇතා තවදුරටත් අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.
ඇතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්ය කණ්ඩායම් මේ වන විටත් පැය විසිහතර පුරා දැඩි වෙහෙසක් දරමින් සිටී.
සේලයින් සහ අත්යවශ්ය ඖෂධ ලබා දෙමින්, සත්ත්වයාගේ කායික ස්ථාවරත්වය ඇති කිරීමට අවශ්ය සියලු විද්යාත්මක ක්රමවේද අඛණ්ඩව ක්රියාත්මක වේ.
කෙසේ වෙතත්, ප්රතිකාර ලබන භූමිය අවට මිනිසුන් එක්රැස් වීම සත්ත්වයා දැඩි මානසික ආතතියකට ලක් කිරීමටත්, වෛද්ය කණ්ඩායමේ සංවේදී ප්රතිකාර කටයුතුවලට බාධා ඇති වීමටත් සෘජුව හේතු වන බව පරිසර අමාත්යාංශය නිවේදනය කර තිබුණි.
වනජීවී පශු වෛද්යවරුන් පෙන්වා දෙන පරිදි, මෙවැනි සංකීර්ණ අවස්ථාවකදී සත්ත්වයාගේ හෘද ස්පන්දනය, රුධිර පීඩනය සහ ප්රතිචාර යථා තත්ත්වයට පත් කරගැනීමට නම් බාහිර ශබ්දවලින් තොර, නිහඬ සහ සන්සුන් පරිසරයක් පැවතීම අනිවාර්ය සාධකයකි.
ඒ අනුව, ප්රතිකාර කලාපය තුළට අනවශ්ය ලෙස ඇතුළු වීමෙන් හා එම භූමිය අවට රොක් වීමෙන් වළකින ලෙසත් ශබ්ද නැගීම හෝ ඩ්රෝන (Drone) කැමරා භාවිතයෙන් වළකින ලෙසත් වෛද්යවරුන්ට තම වෘත්තීය මෙහෙවර නිදහසේ ඉටු කිරීමට ඉඩ සලසන ලෙසත් පරිසර අමාත්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.