
ඉඩම් හිමිකම් තහවුරු කිරීමේ අරමුණින් ක්රියාත්මක ‘හිමිකම’ ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්රික්කයේ ජනතාවට ඉඩම් දීමනා පත්ර 1,400ක් පිරිනැමේ.
ඉඩම් දීමනා පත්ර දසදහසක් ලබාදීමේ ජාතික වැඩසටහනේ කොටසක් ලෙස මෙම දීමනා පත්ර ප්රදානය ඊයේ (15) මොනරාගල නිශ්ශංක ජාතික පාසලේ ප්රධාන ශාලාවේදී සිදු කෙරිණි. ඒ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්රධානත්වයෙනි.
ජනතාවගේ ඉඩම් සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ඔවුන්ගේ ඉඩම් හිමිකම් තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ රට බංකොලොත් තත්ත්වයක පැවති අවස්ථාවක ජනතාව වත්මන් ආණ්ඩුවට බලය ලබාදුන් බවයි.
ආණ්ඩුව ප්රතිපත්තිමය තීරණ ගෙන ඒවා ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය මුදල් ප්රතිපාදන වෙන් කරන බවත්, එම තීරණ ක්රියාවට නැංවීමේ වගකීම රජයට පැවරෙන බවත් ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ රාජ්ය යාන්ත්රණය ද දුර්වල තත්ත්වයක පැවති බව පෙන්වා දුන් අමාත්යවරයා, රාජ්ය නිලධාරීන්ගේ හිඟය සහ ප්රමාණවත් පහසුකම් නොමැති වීම වැනි ගැටලු ද පැවති බව සඳහන් කළේය.
රටේ සංවර්ධන කටයුතු කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා කාර්යක්ෂම ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් රාජ්ය යාන්ත්රණයක් ද අවශ්ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ජාත්යන්තර යුදමය තත්ත්වයන් හේතුවෙන් මෙරට ජනතාවට ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා රජය කළමනාකරණ ක්රියාමාර්ග ගනිමින් සිටින බව ද අමාත්යවරයා සඳහන් කළේය.
යුදමය තත්ත්වයන් හමුවේ පොහොර මිල ඉහළ ගොස් ඇති නමුත් රජය සහන ලබාදෙමින් ගොවීන්ට පොහොර සපයන බව ඔහු පැවසීය. එසේම ආසියානු කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී ශ්රී ලංකාවේ ඉන්ධන මිල අඩු මට්ටමක පවතින බව ද අමාත්යවරයා ප්රකාශ කළේය.
වාරිමාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ කුඹුක්කන් ඔය වාරිමාර්ග ව්යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්ය සැලසුම් සකස් කර ඇති බවයි.
එමෙන්ම සති දෙකකට පමණ පෙර කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පත් කළ බව ද ඔහු පැවසීය.
ශ්රී ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් බව සඳහන් කළ අමාත්යවරයා, බාස්මතී, ජැස්මින් සහ ස්ටිකි රයිස් යන සහල් වර්ග තුන ආනයනය කරන බව ද ප්රකාශ කළේය.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම සිය අමාත්යාංශයේ ප්රධාන වගකීම් අතර වන බව ද අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.