
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අතිශය ආරක්ෂිත කලාපයක (Green Zone) පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයට අද (මාර්තු 14) මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාක ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.
ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරය තානාපති කාර්යාල පරිශ්‍රය තුළ පිහිටි හෙලිකොප්ටර් අංගනයට සෘජුවම පතිත වී ඇත.
ප්‍රහාරයෙන් අනතුරුව තානාපති කාර්යාල සංකීර්ණය තුළින් කළු පැහැති ඝන දුමාරයක් ඉහළට නගින අයුරු නිරීක්ෂණයව තිබේ.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී තානාපති කාර්යාලයේ සවිකර ඇති මිසයිල නාශක පද්ධති ක්‍රියාත්මක වූ බවත්, විශාල පිපිරුම් හඬවල් කිහිපයක් ප්‍රදේශයට ඇසුණු බවත් සඳහන්.
මෙම ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ඇමරිකානු බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ඉරාක නිලධාරීන් පවසන්නේ හානිය පිළිබඳ විමර්ශන පවත්වන බවයි.
ඇමරිකාව - ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින මැදපෙරදිග ගැටුම ආරම්භ වී අදට සති දෙකක් පමණ ගතවන අතර, ඉරානයට පක්ෂපාතී ඉරාක සන්නද්ධ කණ්ඩායම් විසින් මීට පෙරද අවස්ථා කිහිපයකදී ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබුණි.
විශේෂයෙන්ම පසුගිය සතියේදී ද මෙවැනිම ප්‍රහාරයක් මෙම පරිශ්‍රයට එල්ලව තිබූ අතර, අද එල්ල වූ ප්‍රහාරය වඩාත් දරුණු එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිදුවීමත් සමඟ ඉරාකයේ සිටින සියලුම ඇමරිකානු පුරවැසියන් සඳහා පනවා ඇති ආරක්ෂක අනතුරු ඇඟවීම් තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇත.