
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින්, තමන් ලබාදුන් ප්‍රකාශ සම්බන්ධව දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
ඒ, තමාට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එල්ල කරන ලද පීඩනය හේතුවෙන් ජීවිතය එපා වේ යැයි ඇති වූ බිය නිසාවෙන් තමාගෙන් ප්‍රකාශය ලබා ගත් නිලධාරියාට අවශ්‍ය ලෙස,, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේද, සිය බිරිඳගේ ද නම් ඇතුළුව අදාළ ප්‍රකාශය ලබා දුන් බවටයි.
එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්,
උපුටාගැනීමයි ;
''දිවුරුම් ප්‍රකාශයයි
කොළඹ 07, බාන්ස් පෙදෙස, අංක 71/4 හි පදිංචි කපිල චන්ද්‍රසේන වන මා බෞද්ධයෙකු වශයෙන් සත්‍ය ලෙසත්, අවංකවත්, ගාම්භීරව ප්‍රතිඥා දී ප්‍රකාශ කර සිටින වගනම්,
ඉහත සඳහන් ප්‍රතිඥා ප්‍රකාශක මම වෙමි.
මා ප්‍රකාශ කර සිටින්නේ 2026.03.12 වන දින ප්‍රකාශයක් ලබා දීම සඳහා කරන ලද දැනුම් දීමකට අනුව මාගේ නීතිඥවරයා සමග මා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ගිය බවයි.
මා ප්‍රකාශ කර සිටින්නේ මාගේ ප්‍රකාශය සටහන් කරමින් සිටින අතරතුර, මාගේ ප්‍රකාශය සටහන් කරගන්නා ලද නිලධාරියා, ප්‍රකාශය සටහන් කරමින් සිටි කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණ "සර් පොඩ්ඩක් යං" යනුවෙන් මට කතාකර, එකී විමර්ශන අංශය පිහිටා තිබූ එම ගොඩනැගිල්ලේ 3 වන මහලෙන් පිටතට රැගෙන ගොස් විදුලි සෝපානයෙන් මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලට රැගෙන ගිය බවත්, මා සමග නිලධාරීන් දෙදෙනෙකු ගිය බවත්, ඒ යන අතරතුර විදුලි සෝපානය තුළදී මා සමග ගිය එක් නිලධාරියෙක් "ඔය බයිලා කියලා හරියන්නෙ නැහැ, අපිට ඕන දේ කියන්න, නැත්නම් ඇරෙස්ට් කරන්න වෙනවා" යනුවෙන් ප්‍රකාශ කළ බවත්, එවිට මා "සිද්ධ වුණ දේ තමයි මම කියන්නේ, මම බයිලා කියන්නෙ නැහැ" ලෙස ඔහුට ප්‍රකාශ කළ බවයි.
මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් පසු මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලේ පිහිටි ගිමන් කාමරයක් තුළට රැගෙන ගොස් මා හට වාඩිවීමට සැලැස්වූ බවත්, කාමරයට ඇතුළුවන අවස්ථාවේදී තවත් නිලධාරියෙකු එකී කාමරයේ දොර අසල සිටි බවත්, මා සමග ගිය නිලධාරීන් දෙදෙනාද මා වාඩිකර එම කාමරයෙන් පිටත දොර ළඟ රැඳී සිටි බවත්, ඉන් ස්වල්ප වේලාවකට පසු සුදු අත් දිග ෂර්ට් එකක්, කළු කලිසමක් සහ කළු ටයි පටියක් පැළඳ සිටි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා වන රංග දිසානායක මහතා මා සිටි කාමරයට පැමිණි බවත්, එවිට මා සිට ගත් බවත්, ඔහු කාමරයට පැමිණෙන විටම මාගෙන් "මාව දන්නවා නේද" කියා ඇසූ බවත්, මම එවිට "ඔව් සර්" යනුවෙන් පැවසූ බවත්, ඔහු මා අසල වූ පුටුවේ වාඩිවී මා හට වාඩි වන ලෙස දැන්වූ බවයි.
මා ප්‍රකාශ කර සිටින්නේ මෙම නඩුවේ සිද්ධිමය කරුණු සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ B 14363/19 අංක දරන නඩුවේ සැකකරුවෙකු වූ මා හට ඇප ප්රදානය කිරීමේ නියෝගය කරන ලද්දේ වර්තමාන අධ්යක්ෂ ජනරාල්වරයා වන රංග දිසානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරනු ලබන අවධියේ බවත්, ඒ අනුව මම ඔහුව දන්නා බවත්, ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වූ පසු රූපවාහිනියෙන්ද මා ඔහුව දැක ඇති බවයි.
මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරූපයෙන් මා අමතා "මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේම කෙනෙක් ආවා, තමුනුත් දන්නවා ඇතිනෙ කවුද කියලා, දන්නේ නැත්නම් මම කියන්නම්, ඒ කෙහෙළියගෙ නඩුවේ කෙනෙක්, මිනිහට මම චාන්ස් දෙකක් දුන්නා, ගත්තෙ නෑ, මිනිහට ඉන්ඩක්ට්මන්ට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා, තමුන්ගෙ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි, පොඩි එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගෙ වයිෆ් ගැන" යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවිට ඔහු ඇයි තේරුණේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා, මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න, ඒක මං කරනවා, මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතින් තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලෙ වැල දා ගන්න තැනට මම වැඩ කරනවා" යනුවෙන් තර්ජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.
මා ප්‍රකාශ කර සිටින්නේ ඉන්පසු මා සමග පැමිණි නිලධාරීන් දෙදෙනා නැවතත් මා 3 වන මහලට රැගෙන යන අතරතුර ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් මාගේ නීතිඥවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව එම නිලධාරීන්ට දැනුම් දුන් විට "ඔයා ප්‍රකාශය දෙන ගමන්මයි තාම ඉන්නේ, ඒ හින්දා ඉවරවෙනකන් නීතිඥ මහත්තයා හම්බවෙන්න දෙන්න බැහැ" යනුවෙන් පැවසූ බවයි.
මා ප්‍රකාශ කර සිටින්නේ ඉහත තර්ජනය කිරීම හේතුවෙන්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් රූපවාහිනියේ සිදුකරන ලද කතා ඇසීමෙන් ඔහු හරිදේ කරන කෙනෙකු යැයි මාගේ සිතේ ඇති තිබූ ප්‍රතිරූපය නැති වී ගිය බවත්, අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරන ලද බලපෑම සහ තර්ජනය හේතුවෙන් මා බයට සහ තැතිගැන්මට ලක් වූ බවත්, මා හටද ජීවිතය එපා කරවා මා හටද එල්ලී මිය යාමට තරම් මාගේ සිතට දරාගත නොහැකි පීඩනයක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එල්ල කරනු ඇති බවට වූ බය නිසා මාගෙන් ප්‍රකාශය ලබා ගත් නිලධාරියාට අවශ්‍ය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේද, මාගේ බිරිඳගේද නම් ඇතුළුව එම ප්‍රකාශය ලබා දුන් බවයි.
මා ප්‍රකාශ කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් සහ ඔවුන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්බස් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී යම් බලපෑමක් සිදු කළ බව හෝ යම් අයුතු දායකත්වයක් දැක්වූ බව හෝ යම් මුදලක් ලබා ගත් බව සහ මාගේ බිරිඳගේ දායකත්වයක් තිබූ බවට මාගේ ප්‍රකාශයේ කුමන හෝ ස්ථානයක අඩංගු වේ නම්, එම කරුණු මා ස්වේච්ඡාවෙන් සිදු කරන ලද්දක් නොව, එම කරුණු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ බය ගැන්වීම සහ තර්ජනය කිරීම මත ඇතිවූ මරණ බය ප්‍රයෝජනයට ගනිමින් මාගේ ප්‍රකාශය ලබා ගන්නා ලද නිලධාරියා විසින් ලබා ගන්නා ලද කරුණු වන බවයි.''
උපුටාගැනීම අවසන්.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කපිල චන්ද්‍රසේන ලබන 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (19) නියෝග කරනු ලැබුවා.
සිද්ධියට අදාලව වැඩිදුර බී වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරින් විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව එලෙස නියෝග කරනු ලැබුවා.
සැකකරු අද මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබුණා.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් සිට එකී මිල දී ගැනීමේ දී අල්ලස් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ ඇතුළුව තවත් අයවළුන් සමඟ කුමන්ත්‍රණය කර සිය බිරිඳ නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා එම සමාගම නමින් සිංගප්පූරුවේ බැංකුවක ගිණුම් විවෘත කර අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු විධායක නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් නම් කරන ලද ප්‍රියංකා නියෝමාලි විජේරත්න සහ ශමින්ද රාජපක්ෂ යන අයට වරෙන්තු ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් කරන ලද ඉල්ලීමට අදාලව සාක්ෂි ලබාදීමට මාර්තු 24 වන දින නඩුව කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙම සැකකරු විසින් උපයා ගන්නා ලද මිලියන අසුවක මුදලක් රාජ්‍ය පරිපාලන නිලධාරීන් දෙදෙනෙකුට ලබා දී ඇති බව සැකකරු ලබා දුන් ප්‍රකාශවල සඳහන් වන බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූවා.
මෙම සැකකරු විසින් ලබාගන්නා ලද මුදලින් මිලියන හැටක මුදලක් අවස්ථා තුනකදී හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ මිලියන 20ක මුදලක් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී ඇති බව එම ප්‍රකාශයේ සඳහන් වූ බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.
ඒ අනුව එම සිද්ධියට අදාළව ප්‍රකාශයේ සඳහන් පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියා.


