
ඔස්ට්‍රේලියාවේ ළමුන්ට පනවා ඇති සමාජ මාධ්‍ය තහනම යටතේ, මූලික වශයෙන් Meta වෙතින් ගිණුම් 550,000ක් අවහිර කර ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
දෙසැම්බර් මාසයේදී, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ඇතුළු ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වෙබ් අඩවි වයස අවුරුදු 16 ට අඩු ඕස්ට්‍රේලියානුවන්ට තහනම් කරමින් නව නීතියක් පනවනු ලැබුවා.
මෙලෙස තහනමක් පනවන ලද්දේ, හානිකර අන්තර්ගතයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, Meta ඇතුළු සමාගම් ද, තරුණයින් අන්තර්ජාලය තුළ ආරක්ෂිතව තබා ගැනීම සඳහා සහය පළකරමින් ඇති බවයි.
කෙසේ නමුත් ඔවුන් සම්පූර්ණ තහනම් කිරීම් වෙනුවට ආරක්ෂිත, පෞද්ගලිකත්වය ආරක්ෂා කරන, වයසට ගැළපෙන අත්දැකීම් මාර්ගගතව ලබා දීම, ප්‍රමිතිය ඉහළ නැංවීම වැනි කරුණු යෝජනා කර තිබේ.
ඒ අනුව නව නීතියට අනුකූල වීමේ පළමු සතිය තුළ ඉන්ස්ටග්‍රෑම් හි ගිණුම් 330,639 ක්, ෆේස්බුක් හි ගිණුම් 173,497 ක් ඇතුළුව ගිණුම් 550,000ක් අවහිර කළ බව Meta සමාගම සඳහන් කරයි.