
වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනට සමගාමීව මහමාන්කඩව (ඇලයාපත්තුව) වැව වාන සහ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම, මහළිඳ වැව වාන සහ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින ආරම්භ විය.
අක්කර අඩි 2010කින් සමන්විත මහමාන්කඩව (ඇලයාපත්තුව) වැවෙහි වගා වපසරිය අක්කර 625කි. මහළිඳවැව අක්කර 455ක වගා වපසරියකින් සමන්විත අතර එහි ධාරිතාව අක්කර අඩි 1273කි.
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කළ සම්පූර්ණ කතාව පහතින්,
“අද දවසේ අපි වාරිමාර්ග වැඩ 3ක් ආරම්භ කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මුලින්ම මේ රටේ ඇති කරපු වෙනස තමයි ඡන්දයෙන් දිනලා කිසිවෙකුට හිංසාවක් පීඩාවක් කරදරයක් නොකරන එක. ආණ්ඩු මාරු වුණාම විශාල වශයෙන් දේශපාලන පළිගැනීම් තියෙනවා. ගම්වල වෙනත් පාක්ෂිකයන්ට පහර දෙනවා. ගෙවල් කඩනවා. ගිනි තියනවා. ඒ එකක්වත් ලංකාවේ කිසිම තැනක සිද්ද වුණේ නැහැ. ඊළඟට රාජ්‍ය නිලධාරීන්ව හතර අතේ මාරු කරනවා. ඒක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. දේශපාලන පරිවර්තනයක් වුණා කියලා අල්පෙනෙති තුඩකින්වත් කාටවත් හානියක් සිදු කළේ නැහැ.
එහෙම වැඩකරගෙන එද්දි අපිට මුහුණ දෙන්න වුණු පළමු අභියෝගය තමයි ඇමරිකාවේ දැන් ඉන්න ජනාධිපති මුළු ලෝකෙටම අලුත් බදු පැනවීමක් කළා. ඒක අපිට ලොකු අභියෝගයක් වුණා. හැබැයි අපේ ජනාධිපති සහෝදරයාට පුළුවන් වුණා රාජ්‍ය තාන්ත්‍රිකව ගනුදෙනු කරගෙන ඒ ප්රශ්නය විසඳගන්න. විරුද්ධවාදීන්ගේ බලාපොරොත්තුව වුණා ඇමරිකාවෙන් දාපු බදු නිසා මේ රට කඩාගෙන වැටිලා මේ ආණ්ඩුව ඉක්මනින්ම ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක හරි ගියේ නැහැ.
ඊළඟට ආපු ලොකුම අභියෝගය තමයි දිට්වා සුළි කුණාටුව. ඒ පාරත් විරුද්ධවාදීන් අපේ කඩාවැටීම බලාපොරොත්තු වුණා. විශේෂයෙන් අපේ රාජ්‍ය නිලධාරීන් ලොකු කැපකිරීමක් කරලා ඒ අභියෝගය ජයගන්න උපකාර කළා. අපිත් ටිකක් ගැස්සුණා කෘෂිකර්මාන්තය කඩන් වැටෙයිද කියලා. රටේ ජනතාවට කන්න බොන්න දෙන්න පුළුවන් වෙයිද කියලා. නමුත් ගොවීන් ලොකු කැපවීමක් කරපු නිසා අපට හොඳ අස්වැන්නක් ලැබුණා.
මෙවර යල කන්නයේ වෙනදාටත් වඩා වී වගාවට උනන්දුවක් තියෙනවා. ඒකට හේතුව කන්න කිහිපයක්ම වී වගාවෙන් ගොවිජනතාවට යම්කිසි සහනයක් ලැබුණා. වී වගා කළොත් තමන්ට ප්‍රතිඵලයක් තියෙනවා කියන හැඟීම ඇතිවෙලා තියෙනවා.
අපි බලයට එනකොට වී අලෙවි මණ්ඩලයක් තිබුණේ නැහැ. රටපුරා ගබඩා ඇතිකරමින් ඒ ආයතනය නවීකරණය කරමින් වී මිල ප්‍රකාශයට පත්කළා. රජයක් විදිහට අපි වී මිල පාලනය කිරීමට මැදිහත්වීමක් කරනවා.
දැන් ගොවිජනතාව මුහුණදෙන ලොකුම අභියෝගය තමයි වී වේලා ගැනීම. මුළු අස්වැන්නම එකපාර වෙළඳපොළට එනවා. එතකොට මිල අඩුවෙනවා. එකවර වෙළඳපොළට එන එක වළක්වන්න නම් වී ටික වේලලා අපි ළඟ වී ටික තියාගන්න පුළුවන් තැනට මේක ගෙනියන්න ඕනේ. වගා කරන්න පටන්ගත්ත තැන ඉඳලා කපලා ඉවරවෙනකොට ඉවර නැහැ. තව අදියර දෙකක් තියෙනවා. වේලගන්න ඕනේ. ගබඩා කරගන්න ඕනේ. තමන්ට හොඳ මිලක් තියෙන වෙලාවට පමණක් වෙළඳපොළට දෙන්න ඕනේ. අපි ඒ අදියර දෙක ජයගත යුතුයි. වී වගාකරන භූමි ප්‍රමාණය වැඩි කිරීමේ අදහසක් නැහැ. හේතුව වගා කරන කුඹුරු ප්‍රමාණය දැනට අපිට ඇති.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කරලා තියෙන පැකේජ හරියටම ක්‍රියාත්මක කරන්න. ඔබට කියනවා කුඹුර හාද්දි අඟල් 9ක් යටට හාන්න කියලා. නමුත් හාන්නේ නැහැ. නිර්දේශ කරපු පොහොර නියමිත ප්‍රමාණයට නියමිත වෙලාවට යොදන්න කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙනවා. ඊට අමතර වශයෙන් කාබනික පොහොර යොදන්න කියනවා.
මම එකපාරක් ප්‍රකාශයක් කළා, අපි වවලයි අපි කන්නේ කියන අදහසේම අපි නැහැ කියලා. ඒකට සෑහෙන විවේචන ආවා. බී ලූනූ නැත්නම් රටින් ගේනවා. සහල් නැත්නම් රටින් ගේනවා. රටේ ජනතාව බඩගින්නේ තියන්නේ නැහැ. එක මිටට ගොවි බිමට කියන වැඩසටහනෙන් වගා නොකර තියෙන භූමි එක්කොම වගා කරන්න අපි කටයුතු කරනවා.
අපි තව වැඩසටහනක් ගොවීන් වෙනුවෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හදනවා එක ප්‍රදේශයක රජයේ ගබඩාවක්. ගොවීන්ට පුළුවන් සුළු මුදලක් ගෙවලා ඒ ගබඩාවේ වී ටික තියන්න. එතකොට ගෙදරම ගබඩා කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. අපි සැලසුම් කරනවා ගොවීන් කණ්ඩායම් වශයෙන් හදලා වී වේලන යන්ත්‍ර ලබාදෙන්න.
දැන් අපි ගමට කුඩා පාර්ලිමේන්තුවක් දීලා තියෙනවා, ග්‍රාමසේවා වසමට. ග්‍රාමසේවා වසමේ ප්‍රධාන වශයෙන් රාජ්‍ය නිලධාරීන් 5ක් ඉන්නවා. තව ගමේ ඉන්න විශේෂ අය ගොවි සංගමේ සභාපති වගේ අය 25ක් එකතු කරගෙන ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ගම ගැන සියලු තීරණ ගතයුත්තේ ප්‍රජා ශක්ති කමිටුව.
අද මේ පටන් ගන්න වැඩේ ඔබ අධීක්ෂණය කරන්න. හරියට වැඩේ වෙනවද කියලා බලන්න. ගමේ වැඩේට සියලුදෙනා සම්බන්ධ වෙන්න. ඉස්සර මේ සංවර්ධන වැඩවලින් ජනතාව ඈත්කරලා තිබුණේ. නිලධාරීන් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. එහෙම වුණොත් අපි සල්ලි වෙන්කළත් සංවර්ධන කටයුත්ත සිද්ද වෙන්නේ නැහැ.
ගම්වල පුළුවන් තරම් උත්සව තියන්න ඕනේ. අවුරුදු උත්සව, වෙසක් උත්සව තියන්න ඕනේ. ඒවා එකතුවෙලා කරන්න ඕනේ. තනිතනියෙන් ගෙදර බකට් එක පත්තු කළාට වැඩක් නැහැ. සාමුහිකව වැඩ කළාම බැඳීමක් ඇති වෙනවා.
අපි බලය ගත්තේ කරුණු 4කට.
එකක් දේශපාලනය වෙනස් කරන්න. ඒක අපි වෙනස් කරගෙන යනවා. ඔය කියන කතා එකක්වත් ගණන් ගන්න එපා. අපි අහගෙන ඉඳලා ඉඳලා ෂොට් එක දෙන්න ඕන වෙලාවට ෂොට් එක දෙනවා. දැන් එකෙකුට දීලා තියෙන්නේ. ඉතුරු එවුනුත් පරිස්සමින් ඉඳපල්ලා. කියන ඒවා ඇත්ත කියහල්ලා එච්චරයි. ඒ ඇත්තට අපි උත්තර දෙන්නම්. ඒක වෙනම දෙයක්. අදාළ ආයතනවලට. ඉතින් ඒ නිසා අපිට විවිධ විවිධ කියලා කියාගෙන යන්න. ඇති තරම් කියන්න. අපි තෝරලා තැනට හරියට ආවට පස්සේ හෙල්ලෙන්න බැරිවෙන්න දෙන්නේ. දැන් දුන්නනේ. එක ලියුමයි. දොස් සමාව සමාව සමාව. නෑ සමාව දෙන්නේ නෑ. ස්ථීරයි සමාව දෙන්නේ නැහැ. අවශ්‍ය නීතිමය රාජකාරී ඔක්කොම හරියටම කරනවා. කුපාඩි වැඩ, බලු වැඩ, තක්කඩි වැඩ ඔක්කොම කරලා කරලා අපි ඒවා අහගෙන ඉඳලා ඉඳලා අපහාස අවමන් විඳලා විඳලා එක පියවරක් ගත්ත ගමන් කියනවා වැරදීමක් වෙලාලු. සමාවෙන්නලු. සමාවෙන්න තියෙන අයිතිය යටතේ. චාන්ස් දෙන්නේ නැහැ. මොකද රටේ ජනතාව අපට දොස් කියනවා 159ක බලයකුත් දීලා විධායක ජනාධිපතිකමත් දීලා ඔය බලන් ඉන්නේ ඇයි කියලා. හරි තැනදි හරි වෙලාවට ඒ නීතිමය පියවර ගන්නවා.
ප්‍රජා ශක්ති කමිටුව තමයි ගමේ පණ ගැටගැහෙන තැන. ඒකෙදි දේශපාලනමය වශයෙන් සමාජයීය, සංස්කෘතික වශයෙන් ගම ගොඩනඟන්න මැදිහත් වෙන්න.”