
අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් හිරු ටීවී රූපවාහිනී නාලිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධව නීතියට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා ජනමාධ්‍ය අමාත්‍යංශයට පැමිණිල්ලක් යොමුකර තිබේ.
ඒ, අමාත්‍යවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2024/25 වර්ෂයට අදාළව ස්වේච්ඡාවෙන් හෙළි කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය මත පදනම්ව, හිරු ටීවී නාලිකාව විසින් පළකරන ලද ප්රවෘත්තියකට අදාළවයි.
එම ප්‍රවෘත්තිය කරුණු විකෘති කරමින් හා වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් පළ කරන ලද්දක් බව අමාත්‍යවරයා සිය පැමිණිලි ලිපිය තුළින් අවධාරණය කර තිබේ.
''...මෙම පුවත් විකාශය පළ කිරීමට පෙර මාගෙන් කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට එකී රූපවාහිනී නාලිකාව කටයුතු නොකළ අතර, එම සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තිය මගින්, මා සතුව රුපියල් කෝටි 46කට අධික වත්කම් පවතින බවට ඔවුන්ගේ ගණනය කිරීමක් මත පදනම්ව කරුණු පළ කරන ලදී.
එකී කරුණු සිරස්තල ලෙස දක්වමින් එම ඊනියා ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය හා ඩිජිටල් අවකාශයන්හි ප්‍රචාරය කිරීමට ද එම නාලිකාව කටයුතු කර ඇත...'' යනුවෙන් අමාත්‍යවරයා සිය පැමිණිලි ලිපියේ සඳහන් කරයි.
තමන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, වත්කම් හා බැරකම් ප්‍රකාශ කරන පුද්ගලයාගේ නමින් ඇති වත්කම්වලට අමතරව ඔහු සමඟ එකම ගෘහයේ ජීවත් වන බිරිඳගේ සහ අවිවාහක දරුවන්ගේ නමින් පවතින දේපළ ද ප්‍රකාශ කළ යුතු වන බැවින්, තමන් බිරිඳගේ සහ දියණියගේ වත්කම් ද හෙළි කළ බවත් අමාත්‍යවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
එහිදී සිය දියණිය විසින් සමාගම් කිහිපයක මිලදී ගෙන ඇති, මිල දී ගන්නා අවස්ථාවේ දී රුපියල් 90,000 කට ආසන්න වටිනාකමක් වූ, වර්තමාන වටිනාකම අනුව රුපියල් 143,000 කට ආසන්න වටිනාකමක් ඇති සමාගම් කිහිපයක කොටස් සම්බන්ධයෙන් තමා වත්කම් බැරකම් ප්‍රකාශයේ හෙළි කර තිබූ කරුණු හිතාමතාම විකෘති කරමින්, අමාත්‍යවරයා විසින් රුපියල් කෝටි 38කට ආසන්න සුරැකුම්පත් / සමාගම්වල කොටස් මිලදී ගෙන ඇති බවට වාර්තා කිරීමට හිරු නාලිකාව කටයුතු කළ බව ලාල්කාන්ත මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
එම වත්කම් බැරකම් ප්‍රකාශයේ සිය බිරිඳගේ සහ දියණියගේ නමින් වන දේපළ ද පවතින බව එම ප්‍රවෘත්තියේ කිසිදු තැනක මහජනතාව වෙත අනාවරණය කිරීමට හිරු නාලිකාව කටයුතු නොකළ බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව තමන්ට සිදු වූ අපහාසය සම්බන්ධයෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ගෙවන ලෙස සිය නීතිඥවරයා මාර්ගයෙන් හිරු රූපවාහිනී නාලිකාව වෙත එන්තරවාසියක් යොමු කිරීමට අමාත්‍යවරයා කරයුතු කර තිබිණ.
ඉන්පසුව 'ප්‍රවෘත්තිය නිවැරදි කිරීමට තමන්ට අයිතියක් ඇත' යන්න හඟවමින් හිරු නාලිකාව මඟින් නැවත ප්‍රවෘත්තියක් පළ කළ ද, ඉන් වත්කම් ගණනය කිරීමේ දෝෂය පමණක් සඳහන් කළ නමුත්, එන්තරවාසියේ අදාළ කොටස්වල හිමිකාරිත්වය දියණිය සතු බවට ලිඛිතව දැනුම් දී තිබියදීත් අදාළ කොටස්වල හිමිකාරිත්වය අමාත්‍යවරයා සතු බව හුවා දක්වමින් ම අදාළ කණගාටුව පළ කිරීම ද සිදුකළ බවයි ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම කරුණු මත පදනම්ව අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත යොමුකරන ලද පැමිණිලි ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ, හිරු රූපවාහිනී නාලිකාව තමන් සම්බන්ධයෙන් අවම මාධ්‍ය සදාචාරයක් හෝ ගරු නොකරමින් සහ නාලිකාව වෙත නිකුත් කර ඇති බලපත්‍රයේ කොන්දේසි මෙන්ම නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ද කටයුතු කර ඇති බවටයි.
එබැවින්, නාලිකාවට ලබා දී ඇති විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් හිරු නාලිකාව මෙලෙස නීති විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කරනු ලබන පැමිණිල්ල සලකා බලා, නීතිමය ආකාරයට නාලිකාව සම්බන්ධව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.