
මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය බවත්, අත්අඩංගුවට ගන්නා එම මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම පිළිබඳ පොදු සමාජයට සහ මෙහෙයුම්හි නිරත කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම ප්රමුඛ අවශ්‍යතාවයක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අදාළ නීති සංශෝධන කඩිනම් කරන ලෙසද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
එම කටයුතුවලදී මතුව ඇති ප්‍රමාදය වළක්වා ගැනීම වෙනුවෙන්, ඊට අදාළ නීති සංශෝධනය සඳහා පත්කර ඇති කමිටුව සමඟ සාකච්ඡා කර නීති සම්පාදන කටයුතු කඩිනම් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි.
රට තුළ විවිධ අවස්ථාවන්හි සමාජ සහ ආර්ථික වශයෙන් විවිධ තත්ත්වයන් මතු වුවද එම කිසිදු අභියෝගයක් හමුවේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
විෂ මත්ද්‍රව්‍ය සැපයුම් සහ බෙදා හැරීම් ජාල බිඳ දැමීම, පුනරුත්ථාපන සහ අධිකරණ කටයුතු ශක්තිමත් කිරීම ඇතුළු සකස් කර තිබෙන වැඩසටහන් වේගවත්ව සහ අත්නොහැර ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ සමාජය සමඟ තිබෙන අඛණ්ඩ සංවාදයද පවත්වා ගනිමින් මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා මෙහෙයවීමට සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් 2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කෙරුණු ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ මෙතෙක් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ අපරාධ මැඩලීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති මෙම වැඩපිළිවෙළ වත්මන් රජය පිළිබඳව ජනතා විශ්වාසය තහවුරු වීමේ ප්රමුඛ කරුණක් වී ඇති බවද මෙහිදී අනාවරණය විය.
මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වී ඇති බව මෙහිදී අදාළ අංශ විසින් සංඛ්‍යා දත්ත මාර්ගයෙන් පෙන්වා දෙන ලදී.
‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු 2025 ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 124,412ක් සිදු කර තිබෙන බවත්, ඒ අතර ගංජා කිලෝ ග්‍රෑම් 4520ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 1066 යි ග්‍රෑම් 352ක් සහ නීතිවිරෝධී දුම්වැටි 558,300ක්, අයිස් කිලෝ ග්‍රෑම් 1930ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 270ක් සහ මත් පෙති 983,143ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි. අත්අඩංගුවට ගැනුණු මෙම කොකේන් තොගය ඉතිහාසයේ වැඩිම සහ මිල අධිකම කොකේන් තොගය බවද අනාවරණය විය.
‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කිරීමත් සමග මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු විශාල වශයෙන් 1818 දුරකථන අංකය ඔස්සේ පොලීසියට ලැබෙමින් තිබෙන බවත්, ඊට අදාළ මෙහෙයුම් පිළිබඳ නිරන්තරයෙන් ප්‍රගතිය සමාලෝචනය කෙරෙන බවත් සඳහන් විය.
එම අත්අඩංගුවට ගන්නා පිරිස අතර සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් සිටින බවත්, ඒ අතර පිරිමි දරුවන් 1772ක් සහ ගැහැණු දරුවන් 81ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මෙහිදී සඳහන් විය.
මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර නීතිවිරෝධි වත්කම් පිළිබද සැකකරුවන් 196ක් සහ රැඳවුම් නියෝග මත 2268ක් සිටින බවත්, පුනරුත්ථාපනය සඳහා දැනට 1840ක් යොමු කර තිබෙන බවත් සඳහන් විය.
පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමේදී පවතින නීතිමය දුර්වලතා නිසා එම කටයුතු ප්‍රමාද වුවද ඒ සඳහා පත් කර ඇති කමිටුව මේ පිළිබඳ සාකච්ඡා කරමින් ඉදිරි කටයුතු සැලසුම් කරමින් තිබෙන බව නිලධාරීහු පෙන්වා දුන්හ.
එමෙන්ම පවතින පුනරුත්ථාපන පනතේ ඇති ඇතැම් සීමා නිසා ඇබ්බැහි වූවන් නිසි ලෙස සමාජගත කිරීමට ඇති බාධා සහ එම මධ්‍යස්ථානවල ධාරිතාව ප්‍රමාණවත් නොවීමේ ගැටලුද සාකච්ඡාවට ලක් කෙරුණු අතර පුනරුත්ථාපන පනත වර්තමානයට ගැලපෙන පරිදි කඩිනමින් සංශෝධනය කිරීමටත්, ඒ සඳහා වු යෝජනා හැකි ඉක්මණින් ලබා ගෙන අවසන් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
වර්තමානයේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂා කර වාර්තා ලබා ගැනීමට ගතවන කාලය දීර්ඝ වීම නිසා නඩු කටයුතු ප්‍රමාද වීම සහ ඊට අදාළව ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම ඊට අදාළ අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර මත්ද්‍රව්‍ය වැරදි සඳහා වෙනම අධිකරණයක් සහ අධිකරණ ක්‍රියාදාමයක් ස්ථාපිත කිරීම, පළාත්බද මත්ද්‍රව්‍ය සම්බන්ධ වෙනම අධිකරණයක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය වැරදි සඳහා පොලිස් නීති අංශ බලාත්මක කිරීම ආදී යෝජනා අවධානයට ලක් විය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන් දායක කර ගනිමින් වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙමින් සිටින අයට බාහිර රෝගි අංශයකින් පවා මුලික ප්‍රතිකාර ලබා ගැනීමේ තත්ත්වය නිර්මාණය කිරීම, මානසික වෛද්‍ය සායන සඳහා යොමු වීමේ ප්‍රමාණය වැඩි කිරීම, නේවාසික ප්‍රතිකාර ලබා දීම සහ ප්‍රජා පාදක පුනරුත්ථාපනය, පසුවිපරම ආදි ප්‍රධාන උපායමාර්ග 06ක් ඔස්සේ එම වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයින්, ළමයින් සහ ගර්භණී කාන්තාවන් වෙනුවෙන් වෙනම වැඩසටහන් සැලසුම් කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය. මෙම සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත්, ප්‍රජා ශක්ති වැඩසටහනේ දායකත්වයද මේ සඳහා ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් කෙරිණි.
එමෙන්ම පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීම වෙනුවෙන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන් සහ පාසල් ආශ්‍රිතව ක්‍රියාත්මක වැටලීම් මෙන්ම එහි නව ප්රවණතා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
එසේම රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක දැනුවත් කිරීමේ වැඩසටහන් සහ එහි ප්‍රගතියද සමාලෝචනය කෙරිණි.
එමෙන්ම මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික වැඩපිළිවෙළ වෙනුවෙන්ම වෙන් වූ ආගමික වැඩසටහන් ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම්වලට අදාළව ලැබෙන මාධ්‍ය ප්‍රචාරය එම මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම සහ ඇබ්බැහිවූවන් පුනරුත්ථානය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් වෙනුවෙන්ද හිමි වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි අනුනායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේ සහ ඩිලාන් ප්‍රනාන්දු පියතුමා, ජූඩ් බර්නාඩ් රුද්‍රිගෝ පියතුමා, සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමි අලගේසන් කුරුක්කල්තුමා, ඇතුළු ආගමික නායකයන්ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරතන යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ අදාළ ආයතන ප්‍රධානීහුද, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.