
හබරාදුව, හැඩිවත්ත ප්රදේශයේදී අද (18) දහවල් මුහුදේ දියමත ලිස්සා යාමේ සර්ෆින් (Surfing) ක්රීඩාවේ යෙදී සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව හබරාදුව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව, කජුගහවත්ත ප්රදේශයේ පදිංචිව සිටි ඒ.එම්.එස්. ආකාශ් නැමැති සිසුවෙක් බවයි පොලිය පවසන්නේ.
පොලිසිය පවසන පරිදි, මෙම සිසුවා තවත් මිතුරෙකු සමඟ හැඩිවත්ත මුහුදු තීරයේ සර්ෆින් ක්රීඩාවේ යෙදී සිට තිබෙනවා.
එලෙස ක්රීඩා කරමින් සිටියදී සුළු වේලාවකින් ඔහු අතුරුදන්ව ඇති අතර, සිසුවා භාවිතා කළ සර්ෆින් ලෑල්ල (Surfing Board) පමණක් මුහුදේ පාවෙමින් තිබෙනු අසල සිටි පිරිස දැක තිබෙනවා.
වහා ක්රියාත්මක වූ ප්රදේශවාසීන් මුහුදේ ගිලී සිටි සිසුවා සොයාගෙන ගොඩට ගෙන ඇති අතර, ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන විටත් සිසුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.