
ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග කලාපයේ දරුවන් මිලියන සංඛ්‍යාත පිරිසකට "ව්‍යසනකාරී" තත්ත්වයක් උදාවී ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිවේදනය කර තිබේ.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුදමය තත්ත්වයෙන් පසුව මේ දක්වා දරුවන් 1,100කට අධික පිරිසක් මියගොස් හෝ බරපතල තුවාල ලබා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව මිනාබ්හි පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සිසුවියන් ඇතුළුව ඉරානයේ දරුවන් 200ක් පමණ මියගොස් ඇති බව සඳහන්.
එමෙන්ම ලෙබනනයේ දරුවන් 91ක්, ඊශ්‍රායලයේ දරුවන් 04ක්, කුවේටයේ එක් දරුවෙක් ද මියගියවුන් අතරට අයත්.
යුද ගැටුම් හේතුවෙන් කලාපයේ අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති අතර, ඉරානයේ පමණක් පාසල් 20ක් සහ රෝහල් 10ක් පමණ ප්‍රහාරවලින් විනාශ වී හෝ හානි වී ඇති බව තහවුරු වී ඇත.
දරුවන් මිලියන ගණනකට අධ්‍යාපනය අහිමි වී ඇති අතර, සිය දහස් ගණනක් දරුවන් උන්හිටි තැන් අහිමිව අවතැන් වී සිටියි.
මේ පිළිබඳව අදහස් දක්වමින් UNICEF ආයතනය අවධාරණය කරන්නේ කිසිදු හේතුවක් මත දරුවන් ඝාතනය කිරීම හෝ ඔවුන්ට හිරිහැර කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.
ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුව පාසල් සහ රෝහල් ආරක්ෂිත ස්ථාන ලෙස පැවතිය යුතු බවත්, යුද කටයුතුවලදී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීමක් බවත් එම ආයතනය පෙන්වා දෙයි.
එමෙන්ම සමස්ත මැදපෙරදිග කලාපයේම වෙසෙන මිලියන 200ක් පමණ වන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලෝක ප්‍රජාව වහාම ක්‍රියාත්මක විය යුතු බව එම ආයතනය වැඩිදුරටත් ඉල්ලා සිටියි.