
දූෂණයෙන් හා වංචාවෙන් තොර, කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සුපිළිපන් රාජ්‍ය සේවයක් සහ ජනතාවාදී පාලන ව්‍යුහයක් රට තුළ ගොඩනැගෙමින් පවතින බවට ජනතාව තුළ විශ්වාසය තහවුරු කිරීම රජයේ වගකීම බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුමට සමගාමීව ජූලි 27 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති ජාතික සුපිළිපන් සතියේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩසටහනට එක්වෙමිනි.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ "ක්ලීන් ශ්‍රී ලංකා" ලේකම් කාර්යාලය එක්ව මෙහෙයවන ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නංවා දූෂණයෙන් තොර පරිපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම එහි ප්‍රධාන අරමුණ වේ.
මෙම වැඩසටහන මගින් පොදු ජනතාවගේ යහපතට ප්‍රමුඛත්වය දෙන, ස්වයං විනය, ස්වයං පාලනය සහ ස්වයං අධීක්ෂණය මත පදනම්ව විනිවිදභාවයෙන් හා සදාචාරාත්මකව සේවය කරන රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම අපේක්ෂා කෙරේ.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජාතික සුපිළිපන් ප්‍රතිඥාව ලබාදුන් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, ජනතාව රාජ්‍ය සේවයෙන් බලාපොරොත්තු වන්නේ සුපිළිපන් සංස්කෘතියකින් යුත් කාර්යක්ෂම සේවාවක් බවත්, එබැවින් මෙම වැඩසටහන ප්‍රායෝගික හා යථාර්ථවාදී ක්‍රියාදාමයක් බවට පත් කළ යුතු බවත්ය.
ජනතාව දූෂණයෙන් තොර, කාර්යක්ෂම සහ ජනතාවාදී පාලන ක්‍රමයක් පිළිබඳ විශාල බලාපොරොත්තුවකින් සිටින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එම වගකීම ඉටු කිරීමට රජය කැපවී සිටින බව ජනතාවට පෙන්වීමේ වැදගත් පියවරක් ලෙස ජාතික සුපිළිපන් සතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළාය.
අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා ජනතාවට වඩාත් සමීප රාජ්‍ය සේවා දෙකක් වන බැවින්, එම ක්ෂේත්රවල කටයුතු කරන නිලධාරීන් සිය තීන්දු තීරණවලදී සුපිළිපන්භාවය, සාධාරණත්වය සහ වගකීම් සහගතභාවය ආරක්ෂා කළ යුතු බවද ඇය අවධාරණය කළාය.
එමෙන්ම ජනතාවගේ ගැටලුවලට සංවේදීව ප්‍රතිචාර දක්වමින්, අසාධාරණයන්ට ඉඩ නොදෙන තීන්දු ගැනීමත්, සියලු දරුවන්ට හොඳම අධ්‍යාපන අවස්ථා ලබාදීමත් රාජ්‍ය සේවයේ මූලික වගකීම බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වූහ.