
තරග පාවාදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු ඇතුලු සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම විසින් අද (27) ප්රතික්ෂේප කළා. සිද්ධියට අදාලව ඉකුත් (24) වන දින සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ කේ.ඩබ්.එස්. ප්රනාන්දු විසින් අධිකරණයට ගොනුකර තිබූ මෝසමකට අදාල නියෝගය අද (27) ලබා දෙමින් මහේස්ත්රාත්වරයා එලෙස ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළා. තම සේවා දායකයන් දෙදෙනා රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් ඇප මත මුදා හරින ලෙස නීතිඥවරයා එම මෝසම මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව සැකකරු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. සැකකරුවන් ක්රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නමැති ඉන්දියන් ජාතිකයින් දෙදෙනකි. සිද්ධියට අදාල සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ක්රීඩා වැරදි විමර්ශන ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ 2026 LPL තරගාවලියේ තරග පාවා දීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාලව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බැවින් ඇප ප්රතික්ෂේප කරන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.