
කොතලහිඹුටු කිලෝග්‍රෑම් තොගයක් සිය ගමන් මලු තුල සගවාගෙන නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට උත්සාහ කල චීන ජාතික ගුවන් මගියකු අත්අඩංගුවට ගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ පිටත් වීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත රේගු නිලධාරීන්ට හැකි වුණා. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේදි සිදු කළ වැටලීමකදී චයිනා ඊස්ටන් ගුවන් සේවයේ MU 714 අංක දරණ ගුවන් යානයෙන් කොළඹ සිට චීනයේ කුන්මින් වෙත ගමන් කිරීමට පැමිණි චීන ජාතික ගුවන් මගියා සතුව තිබී මෙම කොතලහිඹුටු තොගය හමුවු අතර එම කොතලහිඹුටු තොගය තේ අඩංගු පැකට් ලෙස දක්වා ඇති ඇසුරුම්වලින් ආවරණය කර තිබු බව රේගුව පවසනවා. කොතලහිඹුටු කිලෝග්‍රෑම් 48 යි ග්‍රෑම් 6 ක් තිබු බව රේගුව සඳහන් කළා. ගුවන් තොටුපළ රේගු නිලධාරීන් හා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශය එක්ව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කර රුපියල් 145000/= ක් පමණ වටිනා මෙම කොතලහිඹුටු තොගය රාජසන්තක කර අදාළ මගියාට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් පනවා තිබෙනවා. කොතලහිඹුටු යනු, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ විධිවිධාන අනුව විශේෂ ආරක්ෂිත ශාකයක් වන අතර ඒවා මෙලෙස අපනයනය කිරීම නීති විරෝධී වන අතර එය රේගු ආඥා පනතේ විධිවිධාන කිරීමකි. පසුගිය කාලය පුරාවටම දේශිය වශයෙන් ආවේණික හා වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති මෙවැනි ශාක නීති විරෝධීව මෙරටින් රැගෙන යාමේ උත්සාහයන් විශාල ප්‍රමාණයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.