
රුපියල් මිලියන 377ක පමණ වටිනාකමකින් යුතු හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා පහසුකම් ලබාගන්නා 'ගෝල්ඩ් රූට්' මගී පර්යන්තය ඔස්සේ මෙම විදේශිකයා ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ මෙරටට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙතරම් විශාල වටිනාකමක් සහිත " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවටද වාර්තා වෙයි.
අමෙරිකානු ඩොලර් 206ක් වැනි විශාල මුදලක් ගෙවා 'ගෝල්ඩ් රූට් ' විශේෂ ගුවන් මගී පර්යන්තය භාවිත කරමින් සැකකරු මෙරටට ඇතුළුවීමට උත්සාහ කර තිබුණි.
සැකකරු 23 හැවිරිදි ඩොමිනිකානු ජනරජයේ පුරවැසිභාවය හිමි එරට සරසවියක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
මොහු මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් ලබාගෙන , ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ කිලෝ ග්‍රෑම් 37 ග්‍රෑම් 639 ක් බරැති මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය පැකැට් 146ක් තුළ අසුරා සඟවා රැගෙනවිත් තිබුණි.