
රුපියල් කෝටි 7 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් තොගයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (ජූනි 19) පෙරවරු 9.30 ට පමණ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 403 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ගුවන් තොටුපොළේ පැමිණීම් පර්යන්තයේ හරිත මාර්ගය (Green Channel) ඔස්සේ පැමිණි අවස්ථාවේදි ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. 41 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු වන මොහු රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කළ අතර ඔහුගේ ගමන් මල්ලක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් වර්ගයේ ගංජා කිලෝග්‍රෑම් 7.5 ක් (ග්‍රෑම් 7,500) අඩංගු පැකට් 12ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 75ක් (රුපියල් කෝටි 7.5ක්) පමණ වන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරනවා. අදාළ සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී තිබෙනවා.