
සෞදි අරාබියේ දම්මාම්හි පිහිටි කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්යාංශය (MEA) පවසයි.
ඊයේ (21) රාත්රියේ සිදු වූ මෙම ප්රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞදි බලධාරීන් විසින් ඉන්දියාවට දැනුම් දී තිබේ.
මියගිය දෙදෙනා අතර ඉන්දීය ජාතිකයෙකු ද සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කරගැනීමට කටයුතු කරමින් සිටින බවත්, බලපෑමට ලක් වූ පවුල් සමඟ සම්බන්ධ වෙමින් සිටින බවත් එම අමාත්යාංශය වැඩිදුරටත් ප්රකාශ කළේය.
“මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් වෙත අපගේ ශෝකය පළ කරන අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමු” යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කළේය.
සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා පිළිබඳ සාමාන්ය අධිකාරිය (GACA) පැවසුවේ බදාදා සවස ගුවන්තොටුපොළ ඉලක්ක කර මෙම ප්රහාරය එල්ල වූ බවයි.
ප්රහාරයෙන් තුවාල ලැබූවන් රෝහල්ගත කර ප්රතිකාර ලබාදීමට පියවර ගෙන ඇති අතර, ගුවන්තොටුපොළේ දේපළවලට ද හානි සිදුව තිබේ.
එම හානිවල ප්රමාණය තක්සේරු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද GACA සඳහන් කළේය.
මේ අතර, පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞදි අරාබියේ සේවය කරන අත්යවශ්ය නොවන රාජකාරිවල නිරත එක්සත් ජනපද රාජ්ය සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එරටින් පිටත්ව යන ලෙස එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ ප්රකාශක ටොමී පිගොට් සඳහන් කළේ ඉරානයේ සහාය ලබන හූති කණ්ඩායම සෞදි අරාබියට එරෙහිව සිදුකරන සතුරු ක්රියාකාරකම් වැඩි කර ඇති බවයි.
සිවිල් ගුවන්තොටුපොළ සහ අනෙකුත් අත්යවශ්ය යටිතල පහසුකම් ඉලක්ක කර ප්රහාර එල්ල කිරීම හේතුවෙන් සිවිල් වැසියන්ට ජීවිත හානි සිදුවීමත්, ගමනාගමන කටයුතුවලට බාධා ඇතිවීමත් සිදුව ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.