
දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.
එතුමා සමග දූත පිරිස 49 දෙනෙකුද මෙම සංචාරය සඳහා පැමිණ ඇත.
ඔවුන් අද (19) ඉන්දීය ගුවන් සේවයේ INDIA - 01 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇති බවත් වාර්තා වේ.
අද පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටිනු ඇති අතර සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
ඊට අමතවරව අවස්ථා කිහිපයකටම සහභාගී වන අතර දේශපාලන හා ප්‍රජා නායකයින් සමග සම්බන්ධ වීමටද නියමිතව තිබේ.
දිට්වා සුළි කුණාටුව සම්බන්ධව පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළු සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක්ද මෙම සංචාරයේදී හුවමාරු කර ගැනීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.