
සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්යක්ෂවරයාගේ මරණය ඔහු විසින් සිදුකරගනු ලැබූ තුවාල මත සිදුවූ දිවි නසාගැනීමක් බව මරණයට හේතුව සෙවීම සඳහා පත්කෙරුණු අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනාගෙන් සමන්විත කමිටුව තහවුරු කර තිබේ.
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂ මහතා ඊයේ (30) සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.
ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ඇති බවත් ඒ අනුව මෙය සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න පිළිබඳ සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය සඳහන් කළේය.
සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යංශ සහකාර අධ්යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දිනයේ සිදු කෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී අද (01) පස්වරුවේ සිදු කෙරුණි.
ඒ අනුව මෙම මරණය ඔහු විසින් සිදුකරගත් තුවාල මත සිදුවූ දිවි නසාගැනීමක් බව මරණයට හේතුව සෙවීම සඳහා පත්කෙරුණු අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුව තහවුරු කර ඇත.