
ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.
ඒ, ඊයේ (22) පාර්ලිමේන්තුවේදීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ අත්කරගෙන ඇති ප්‍රතිඵල සම්බන්ධයෙන් සිදුකෙරෙන හත්වැනි සමාලෝචනය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇත.
අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව ආර්ථිකය කළමනාකරණය කරමින් අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරිය, බාහිර බලපෑම් මධ්‍යයේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව අවධාරණය කළාය.
රජය බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳවද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, IMF විසින් විවෘත හා විනිවිදභාවයෙන් යුතුව ලබාදෙන සහාය අගය කළාය.
ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා රජය දරන ප්රයත්නයන්ට අඛණ්ඩව සහාය දැක්වීමට IMF දක්වන කැමැත්තද ඇය අගය කර තිබේ.
එමෙන්ම, බාහිර සාධක ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, සංවර්ධන හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේදී තිරසර, වගවීමකින් යුත් සහ සියලු දෙනා ඇතුළත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව සඳහන් කළාය.
දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත වත්කම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන තොරතුරුවල පෞද්ගලිකත්වය සහ විනිවිදභාවය අතර සමතුලිතතාව පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමුවී තිබේ.
ශ්‍රී ලංකාව සඳහා වන IMF නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වෝල්ඩමිකෙල් මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.