
දශක තුනක යුදමය වාතාවරණය පැවති කාල සීමාව තුල මියගිය, ආබාධිත තත්ත්වයට පත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ තවදුරටත් නොවිසඳුණු විවිධ ගැටළු පවතින පාර්ශවකරුවන් කෙරෙහි වත්මන් රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් සක්‍රීයව මැදිහත් වී මේ සඳහා විසඳුම් ලබාදීමට ක්‍රියා කරන ලද බවත් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
ඒ අනුව, මාතෘභූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව උදෙසා ක්‍රියාන්විත වල යෙදුන ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ තවදුරටත් නොවිසඳුණු ගැටලු පවතින අංශ කෙරෙහි අවධානය යොමු කර “හඳුනාගත් පාර්ශවයන් වෙත සහන හිමිගැන්වීම සඳහා වන යුධමය වතාවරණය පැවති වකවානුවේ දී (1977.07.22 දින සිට 2009.05.19 දින දක්වා) ත්‍රස්ත ක්‍රියා සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුනට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීම” මැයෙන් අංක MOD/01/2026 හා 2026.09.15 චක්‍රලේඛය මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංර්වධන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් යුතුව නිකුත් කර ඇත.
එම වක්‍රලේඛයට අනුව 1982 වර්ෂයේ සිට (1997.07.22 දින සිට බල පැවැත්වෙන පරිදි) මේ දක්වා නිකුත් කර ඇති අමාත්‍ය මණ්ඩල තීරණ හා චක්‍රලේඛ මඟින් ආවරණය නොවන වර්ගීකරණ වලට අයත් අලුතින් හඳුනා ගත් පහත සඳහන් පාර්ශවකරුවන් වෙත සහන හිමි ගැන්වේ.
වයස අවුරුදු 55 සම්පුර්ණ වීමෙන් පසු වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්
අනතුර සිදුවීමෙන් දීර්ඝ කාලයකට පසු වයස අවුරුදු 55 සම්පුර්ණ වීමට පෙර වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර ඇති හමුදා සාමාජිකයන්
වෛද්‍ය මණ්ඩල නිරීක්ෂණය අනුව විශ්‍රාම ගැනීමට පෙර/වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කිරීමට පෙර මියගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/93, 22/93(iv) යටතේ ප්රතිලාභ ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්
ක්‍රියාන්විත හේතු මත තුවාල ලබා වෛද්‍ය හේතු මත විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන් වෙත සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය හමුදා සාමාජිකයන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් වෙත විශ්‍රාම වැටුප් / වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමේදී පැවති ගැටළු සඳහා විසඳුම් ලබාදීම
නිවාඩු නොමැතිව නොපැමිණිම හේතුවෙන් සේවයෙන් ඉවත් කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්
වත්මන් රජයේ ප්‍රතිපත්ති මාලාවට අනුරූප වෙමින් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවීම් කල, පැවැති යුද්ධයට දායක වු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය හා සහන ලබාදීම් පිලිබඳව කටයුතු කිරීම සඳහා ක්‍රියාත්මක වු වැඩපිලිවෙලෙහි එක් අවස්ථාවක් ලෙස සැලකිය හැකි මෙකී චක්‍රලේඛය පරිපාලනමය තීරණයකට එහා ගිය, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ කැපවීම අගයමින් ඔවුන් වර්තමානයේ මුහුණපා ඇති ගැටළු සඳහා සාධාරණයක් ඉටු කිරීම උදෙසා රජය විසින් තබන ලද මානුෂීය පියවරක් ද වේ.