
සඳ වටා යන සිය ඓතිහාසික ගමන ආරම්භ කර ඇති Artemis II මෙහෙයුමේ ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ ප්‍රථම අධි-විභේදන ඡායාරූප පෙළක් නාසා (NASA) ආයතනය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
මෙහෙයුමේ අණදෙන නිලධාරී Reid Wiseman විසින් මෙම ඡායාරූප ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
පෘථිවි කක්ෂයෙන් ඉවතට ගොස් සඳ දෙසට ගමන් කිරීම සඳහා වූ අවසන් එන්ජින් දහනය ද සාර්ථකව නිම කිරීමෙන් පසුව, ගගනගාමීන් විසින් මෙම ඡායාරූප ලබාගෙන තිබෙන බව නාසා ආයතනය සඳහන් කළා.
"Hello, World" ලෙස නම් කර ඇති මෙහි පළමු ඡායාරූපයෙන් අත්ලාන්තික් සාගරයේ නිල් පැහැති විසල් පරාසය දිස්වන අතර, පෘථිවිය විසින් සූර්යයා වසා ගන්නා Eclipse අවස්ථාවේදී වායුගෝලයේ සිහින් දීප්තිය සහ පෘථිවි ධ්‍රැවයන් හි ඇති හරිත පැහැති ධ්‍රැවීය ආලෝකයන් (Auroras) ඉතා අලංකාර ලෙස සටහන් වී තිබෙනවා.
එම ඡායාරූපයේ පහළ දකුණු පසින් දිස්වන දීප්තිමත් ග්‍රහලෝකය සිකුරු (Venus) ග්‍රහයා බවයි නාසා ආයතනය තහවුරු කර ඇත්තේ.
සිකුරාදා අලුයම සිදුකළ Trans-lunar injection ක්‍රියාවලියෙන් පසු Orion අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂයෙන් ඉවතට යොමු කර ඇති අතර, 1972 වසරෙන් පසු මිනිසුන් විසින් පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගමන් කරන පළමු අවස්ථාව මෙය වනවා.
Artemis II යානය මේ වන විට සඳෙහි දුරස්ථ අර්ධය වටා ගොස් නැවත පැමිණීමේ වටකුරු මාර්ගයක ගමන් කරමින් සිටින අතර, සැලසුම් කර ඇති පරිදි මෙම පිරිස අප්‍රේල් 6 වැනිදා සඳෙහි දුරස්ථ අර්ධය පසු කර, නියමිත පරිදි අප්‍රේල් 10 වැනිදා නැවත පෘථිවියට ළඟා වීමට නියමිතයි.