
මෙම වසර ආරම්භයේ සිට ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ පලස්තීනුවන් 3,600 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පලස්තීන සිරකරුවන්ගේ සංගමය (Palestinian Prisoner’s Society) පවසනවා. එම සංගමය සඳහන් කළේ, කාන්තාවන් සහ දරුවන්ද අඛණ්ඩව අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක බවට පත්ව ඇති අතර, චෝදනා ගොනු කිරීමකින් හෝ නඩු විභාගයකින් තොරව පුද්ගලයන් රඳවා තබන පරිපාලන රැඳවුම් (Administrative Detention) ක්‍රමය පෙර නොවූ විරූ ලෙස පුළුල් කර ඇති බවයි. මෙම මාසයේ ආරම්භය වන විට පලස්තීනුවන් 3,244 දෙනකු රඳවා සිටි බවත්, එය පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බවත් එම පලස්තීන සිරකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. තවද, සිරගෙවල් තුළ රඳවා සිටින පිරිස මුහුණ දෙන තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බවත්, වධහිංසා කිරීම්, ආහාර හිඟය, ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම, දිගුකාලීන හුදකලා රැඳවුම්, ලිංගික අපයෝජන මෙන්ම විශේෂයෙන්ම කැස්ස (Scabies) ඇතුළු රෝග පැතිරීම වර්ධනය වී ඇති බවත් එම සංගමය සඳහන් කරනවා. ගාසා තීරයෙන් අත්අඩංගුවට ගත් පලස්තීනුවන් අවම වශයෙන් 1,320 දෙනකු "නීතිවිරෝධී සටන්කාමීන්" (Unlawful Combatants) ලෙස නම් කර රඳවා තබා ඇති බවද එම සංගමය පවසනවා. 2023 ඔක්තෝබර් මාසයේ ගාසා තීරයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු මේ දක්වා බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ පලස්තීනුවන් 24,600කට අධික පිරිසක් ඊශ්‍රායල හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පලස්තීන සිරකරුවන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.