
යුරෝපා පාපන්දු පිටියේ ප්රබලතම කණ්ඩායමක් වන පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම, 2026 වසරේ යුරෝපා චැම්පියන්ස් ලීගයේ (UCL) අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.
මෙය ඔවුන් අඛණ්ඩව අවසන් මහා තරගයකට පිවිසි දෙවන අවස්ථාව වන අතර, වත්මන් ශූරයන් ලෙස සිය කිරුළ ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට දැන් ඇත්තේ තවත් එක් පියවරක් පමණි.
මෙවර අවසන් පූර්ව වටයේදී පී.එස්.ජී කණ්ඩායමට මුහුණ දීමට සිදු වූයේ ජර්මානු දැවැන්තයෙකු වන බයර්න් මියුනිච් කණ්ඩායමටයි.
පැරිස් නුවර පැවති පළමු අදියර 5-4ක් ලෙස නිමාවට පත් වූයේ චැම්පියන්ස් ලීග ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා වූ සහ උද්යෝගිමත් අවසන් පූර්ව තරගයක් ලෙසිනි.
ඉන් අනතුරුව ඊයේ 6 වනදා බයර්න් පිලේ ක්‍රීඩාංගණය වන ඇලියන්ස් අරීනා හි පැවති දෙවන අදියරේදී ද දැඩි සටනක් දැකගත හැකි විය.
තරගයේ තෙවන මිනිත්තුවේදීම ඕස්මාන් ඩෙම්බේලේ වාර්තා කළ ගෝලයත් සමඟ පී.එස්.ජී පිල පෙරමුණ ගත් අතර, තරගය අවසානයේ අතිරේක කාලයේදී හැරී කේන් බයර්න් පිල වෙනුවෙන් ගෝලයක් රැස් කරමින් තරගය 1-1ක් ලෙස සම කළේය. කෙසේ වෙතත්, සමස්ත ගෝල තත්ත්වය 6-5ක් ලෙස පවත්වා ගනිමින් අවසන් මහා තරගයේ දොරටු විවෘත කර ගැනීමට PSG සමත් වූහ.