
සාලියවැව බස් අනතුරකින් දෙදෙනෙක් මරුට – දුම්රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙක් මරුට
ඊයේ (22) දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් හත්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
සාලියවැව, හබරාදූව, චුන්නාකම්, මහව, පුස්සැල්ලාව සහ කැලණිය යන පොලිස් වසම්වලින් මෙම අනතුරු වාර්තා වී ඇත.
ඊයේ (22) සවස සාලියවැව පොලිස් වසමේ පුත්තලම–ත්රිකුණාමලය මාර්ගයේ මහහේන්යාය හන්දිය අසලදී සිදුවූ බස් රථ අනතුරකින් දෙදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ මගී ප්රවාහන බස් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ගමන් කළ යතුරුපැදියක ගැටීමෙන් පසු රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකි වී ඇත.
අනතුරුව බස් රථය අසල තිබූ පාලමක සහ අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටී පෙරළී ගොස් තිබේ.
අනතුරින් යතුරුපැදිකරු, බස් රථයේ රියැදුරු, රිය සහායකයා සහ මගීන් 14 දෙනකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී යතුරුපැදිකරු සහ බස් රථයේ ගමන් කළ කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය යතුරුපැදිකරු 38 හැවිරිදි සාලියවැව ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර, මියගිය කාන්තාව 30 හැවිරිදි රඹෑව ප්රදේශයේ පදිංචිකාරියකි.
ඊයේ සවස පුස්සැල්ලාව පොලිස් වසමේ කඩදොර හන්දිය දෙස සිට කොටගේපිටිය මාර්ගය ඔස්සේ ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කරගැනීමට නොහැකිව බෑවුමකට පෙරළී යාමෙන් දෙදෙනකු මියගොස් තිබේ.
අනතුරින් කැබ් රථයේ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එහි ගමන් කළ කාන්තාවක් බරපතළ තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය රියැදුරු 57 හැවිරිදි පුද්ගලයකු වන අතර, මියගිය කාන්තාව 55 හැවිරිදි තැනැත්තියක වන අතර දෙදෙනාම කොටගේපිටිය, මාස්වෙල ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
හබරාදූව පොලිස් වසමේ හබරාදූව නගරය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් 40 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු මියගොස් තිබේ.
බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මියගිය සෙබළා මැදගම ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර, නිවාඩු ලබා සිට නැවත රාජකාරියට වාර්තා කිරීම සඳහා පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
චුන්නාකම් පොලිස් වසමේ යාපනය–කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කන්දසාමි කෝවිල් හන්දිය අසලදී ඊයේ අලුයම සිදුවූ අනතුරකින් 67 හැවිරිදි පාපැදිකරුවකු මියගොස් තිබේ.
අතුරු මාර්ගයක සිට පැමිණි ටිපර් රථයක් කන්කසන්තුරේ දෙසට හැරවීමට යාමේදී මාර්ගය අයිනෙන් ගමන් කළ පාපැදිකරු එහි ගැටී ඇත.
බරපතළ තුවාල ලැබූ පාපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
ඔහු යාපනය ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර, ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මහව පොලිස් වසමේ මඩගල්ල–දළදාගම මාර්ගයේ මහව නගරයේ සතිපොළ හන්දිය අසලදී බස් රථයක ගැටීමෙන් 78 හැවිරිදි පදිකයකු මියගොස් තිබේ.
මහව දෙසට ධාවනය වූ බස් රථය මාර්ගය හරහා ගමන් කළ පදිකයාගේ ගැටී ඇති අතර, බරපතළ තුවාල ලැබූ ඔහු මහව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
මියගිය පුද්ගලයා ගල්ගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
කැලණිය පොලිස් වසමේ බියගම–කොළඹ මාර්ගයේ පිලපිටිය ප්රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් 34 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
කැලණිය දෙසට ධාවනය වූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පදික කාන්තාවකගේ ගැටීමෙන් පසු අසල තිබූ විදුලි රැහැන් කණුවකද ගැටී ඇත.
බරපතළ තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මියගිය කාන්තාව කඳාන ප්රදේශයේ පදිංචිකාරියකි.
මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කැලණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.