
2026 වසරේ ගතවූ මුල් මාස හත ඇතුළත මෙරට සමස්ත අපනයන ආදායම ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් මිලියන 10,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.
අද (31) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී සභාපති වරයා මේ බව කියා සිටියේය.
ඒ අනුව, ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක් ලෙස වාර්තා වී තිබේ. ඉන් වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 8,188ක් ද, සේවා අංශයේ අපනයන ආදායමෙන් ඩොලර් මිලියන 2,199ක් ද වශයෙන් සුවිශේෂී දායකත්වයක් ලැබී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
පොල් ආශ්රිත නිෂ්පාදන, රබර් කර්මාන්තය, ආහාර සහ බීම, විදුලි උපකරණ, මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම කුළුබඩු අංශවල කැපී පෙනෙන වර්ධනයක් මෙම කාලසීමාව තුළ දැකගත හැකි විය.
විශේෂයෙන්ම සේවා අංශය තුළ තොරතුරු තාක්ෂණ සහ ලොජිස්ටික් ක්ෂේත්රවල ප්‍රබල වර්ධනයක් වාර්තා වී ඇත. කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් මතු වූ අපනයන බාධාවන් නිසා, තේ අපනයන අංශය අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීමේදී යම් පසුබෑමකට ලක්ව ඇති බවද මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.