
සිය දියණිය සමඟ ඇති ප්‍රේම සම්බන්ධතාවය නවත්වන ලෙසට කළ අවවාදය නොතැකු තරුණයෙකුට පවුලේ සාමාජිකයින් සමඟ එක්ව පහරදී කපා කොටා ඝාතනය කළ පියකු ඇතුළු දස දෙනෙකුට ඇඹිලිපිටිය පූර්වගාමී මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද (24) මරණීය දණ්ඩනය නියම කළා. එකම පවුලේ කාන්තාවන් තිදෙනකුට සහ පියා ඇතුළු පිරිමි පුද්ගලයින් 07 දෙනෙකුට එලෙස මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා එම නඩුවේ දස වැනි සහ එකොළොස් වැනි විත්තිකරුවන් ලෙස නම්කොට සිටි එම පවුලේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටද නියෝග කොට තිබෙනවා. නීති විරෝධී රැස්වීමක සාමාජිකින් වී 2011 ඔක්තොබර් 10 වනදා හෝ ඊට ආසන්න දිනයකදි ඇඹිලිපිටිය මුල්ලගස්යාය ප්‍රදේශයේදී වීරසිංහ ආරච්චිලාගේ ධම්මික නයන කුමාර නැමති තරුණයා ඝාතනය කිරිම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් එකී විත්තිකරුවන් දොළොස් දෙනාට එරෙහිව නඩු පවරා තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද (24) එම නඩුවේ තීන්දුව නිකුත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේ එකී විත්තිකරුවන් දස දෙනාට එරෙහිව ෙ නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධි චෝදනා තුනම පැමිණිල්ල විසින් ඔප්පු කොට ඇති බවත් සෙසු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. ඝාතනයට ලක් වූ තරුණයා එම පවුලේ තරුණියක සමග ප්‍රේම සබඳතාවයක් ඇතිකරගෙන තිබූ බවත් පළමුවන විත්තිකරු එකී ප්‍රේම සම්බන්ධය තාවය නවත්වන ලෙසට මරණකරුට දැඩිව අවවාද කොට තිබූ බවත් පැමිණිල්ලෙ සඳහන් වුණා. මේ අතර එම අවවාද නොතකු ඝාතනයට ලක් වූ තරුණයා සිය පෙම්වතිය බැලීමට 2011 ඔක්තෝබර් 10 වනදා පස්වරුවේ ඇගේ නිවසට ගිය අවස්ථාවේදී පළමුවන විත්තිකාර පියා තරුණයා ග්‍රහණයට ගෙන පහර දී ඇති බවත් ඒ අතරතුර සෙසු විත්තිකාරියන් හා විත්තිකරුවන් නව දෙනාද මරණකරුට තියුණු ආයුධ වලින් හා අතින් පයින් පහර දී ඇති බවත් පැමිණිල්ලෙන් වැඩිදුරටත් සඳහන් වනවා.