
නුගේගොඩ සහ ගාල්ලේ දි පොලිසිය සිදුකළ වැටලීම් දෙකකදී අයිස් මත්ද්රව්ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (24) රාත්රියේ සිදුකළ මෙම වැටලීම්වලදී එක් සැකකරුවෙකු ගමන් කළ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරකට අනුව කලල්ගොඩ හන්දිය ප්රදේශයේදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර තිබෙනවා.
එහිදී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 1යි ග්රෑම් 10ක ප්රමාණයක් ප්රවාහනය කරමින් සිටි 26 හැවිරිදි සැකකරුවෙකු මෝටර් රථය ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.
පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මේ අතර, ගාල්ල පොලිස් වසමේ 97 කෝන්ගහ ප්රදේශයේදී ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.