නිසි ලියාපදිංචියකින් තොරව හීලෑ අලි ඇතුන් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කළා.
වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, නීතිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ අලි ඇතුන් 15 දෙනකු ඔවුන්ගේ අයිතිකරුවන් වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මුල් අයිතිකරුවන් පිරිසක් වෙත මුදා හැරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් කරන ලෙස ඉල්ලා පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන ආයතනය ඇතුළු සංවිධාන කිහිපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම්වල තීන්දුව දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන් මෙම නියෝග නිකුත් කළා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරුණා.
ඒ අනුව, බලපත්‍ර නොමැති වීම හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලද අලි ඇතුන් යළි ඔවුන්ගේ අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කොළඹ හා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණ විසින් නිකුත් කළ නියෝග ද අභියාචනාධිකරණය විසින් බල රහිත කළා.
එසේම, මේවන විට රඳවාගෙන සිටින අලි ඇතුන් යළි අයිතිකරුවන් වෙත මුදා හැරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් රාජ්‍ය නිලධාරීන් වෙත තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.