
ඉකුත් වසර (2025) තුළදී ජනාධිපති මන්දිර හතෙහි (07) පුද්ගලයන් 3,089 ක් නවාතැන් ගෙන ඇති බවත්, එම වසර සඳහා මන්දිර හතෙහි විදුලිය, දුරකථන ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් තුන්කෝටි විසිනම ලක්ෂයකට අධික මුදලක් (32,982,675) දරා තිබෙන බවත් ජනාධිපති කාර්යාලයට අදාළ කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.
ඉකුත් වසරට (2025) අදාළව ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන වාර්තාවට ඉකුත් වසරට (2025) අදාළ විගණකාධිපති වාර්තාවද අමුණා තිබේ. එම වාර්තාවට අනුව, 2025 වසරේදී ජනාධිපති මන්දිර 07 හි පවත්වන ලද රැස්වීම් සංඛ්‍යාව තුනකි (03).
කතරගම, මහියංගණය හා බෙන්තොට යන ජනාධිපති මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදුවී නොතිබියදීත් දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් ලක්ෂ 24 කට අධික (2,447,754) ක මුළු වියදමක් දරා තිබූ බවද අදාළ වාර්තාවේ සඳහන්වේ.
2022 වසරේ ජූලි 09 වැනි දින සිදුවූ ජන අරගලය හේතුවෙන් කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ගොඩනැගිලිවලට හානිවීම හා ඒවායෙහි ස්ථාපිත අංශයන්හි භාණ්ඩ අස්ථානගතවීම හේතුවෙන් සිදුව ඇති පාඩු හා අලාභහානි සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසන් වනතෙක් එම පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට අපොහොසත්ව තිබුණු බවද ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර ඇත්තේ ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත්ය.
'‘2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089ක් නවාතැන් අරන් මැයෙන් පලවී ඇති පුවත අසත්‍ය වන අතර, 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇත.
එහෙත් මේ නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැත.