
පාඩුව ඩොලර් බිලියන 3.3ක් දක්වා ඉහළට
ඉරානයට එරෙහිව අමෙරිකාව දියත් කළ යුද මෙහෙයුම් හේතුවෙන් අමෙරිකානු හමුදාවට අයත් ප්රහාරක ගුවන් යානා සහ නියමුවන් රහිත ඩ්රෝන යානා ඇතුළු ගුවන් යානා 81කට අවම වශයෙන් හානි සිදුවී හෝ ඒවා විනාශ වී ඇතැයි අමෙරිකානු කොංග්රසයේ අයවැය කාර්යාලය (CBO) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එම හානිවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.9ත් 3.3ත් අතර වන බව එම වාර්තාව ඇස්තමේන්තු කර තිබේ.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්රායල යුද්ධයේ පිරිවැය ඉහළ යමින් තිබීම හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පරිපාලනයට දේශපාලන පීඩනයක් එල්ල වෙමින් පවතින පසුබිමකය.
මෙම යුද්ධය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ අතර, අගෝස්තු 1 වැනිදා වන විට සිදුව තිබූ ගුවන් යානා හානි පිළිබඳව අදාළ ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.
වාර්තාවට අනුව හානියට පත් හෝ විනාශ වූ යානා අතර F-15E ස්ට්රයික් ඊගල් ප්රහාරක යානා 12ක්, F-35A ලයිට්නිං II ප්රහාරක යානයක් සහ KC-135 ස්ට්රැටෝ ටැංකර් ගුවනේදී ඉන්ධන පිරවීමේ යානා හතක් ද වෙයි.
එම යානා 81 අතරින් 45ක් MQ-9 රීපර් වර්ගයේ නියමුවන් රහිත ඩ්රෝන යානා බව ද වාර්තාවේ සඳහන් වේ.
නූතන යුද්ධවල ස්වභාවය වෙනස් වීමත් සමඟ, සාපේක්ෂව අඩු වියදමකින් නිපදවිය හැකි ඩ්රෝන යානා ලෝකයේ ප්රබල හමුදාවලට පවා දැඩි තර්ජනයක් වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
හිටපු නාවික හමුදා නිලධාරියකු මෙන්ම රජයේ උපදේශන ආයතනයක් වන කිලෝවන් සමූහයේ (Killowen Group) සභාපතිවරයා ද වන හාර්ලන් උල්මන් පවසන්නේ කුඩා හමුදා බලයක් සහිත රටකට වුවද ලෝකයේ ප්රබලතම හමුදාවලට සැලකිය යුතු හානි සිදු කළ හැකි බව මෙම යුද්ධයෙන් පැහැදිලි වන බවයි.
ඉරානයට මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු සහ හමුදා උපකරණ ඉලක්ක කර ගැනීමට අවස්ථා රැසක් පවතින බව ඔහු පෙන්වා දී තිබේ.
කුඩා ඩ්රෝන යානයකට පවා විශාල හමුදා වත්කමකට හානි කිරීමට හැකි බවත්, යුද්ධය අතරතුර ගල්ෆ් කලාපීය රටවලින් එවැනි සිදුවීම් පිළිබඳ උදාහරණ දක්නට ලැබුණු බවත් උල්මන් අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත.
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ද ඩ්රෝන යානා භාවිතයෙන් සාපේක්ෂව කුඩා හමුදාවකට ප්රබල සතුරකුට එරෙහිව ප්රතිරෝධය දැක්විය හැකි ආකාරය පෙන්වන උදාහරණයක් ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, ඉරානයෙන් ඩ්රෝන ප්රහාරයක් එල්ල විය හැකි බවට පැතිර ගිය ආරංචි හේතුවෙන් බ්රිතාන්යයේ RAF ෆෙයාර්ෆෝර්ඩ් ගුවන් හමුදා කඳවුරේ සිටි අමෙරිකානු ගුවන් යානා 12ක් පමණ ඉරිදා හදිසියේම වෙනත් ස්ථාන කරා ගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.
එම කඳවුර ඉරානයට එරෙහි යුද්ධය අතරතුර අමෙරිකානු හමුදා ගුවන් යානා සඳහා භාවිත කර තිබේ.
යුද්ධය සඳහා වැය වන මුදල් ඉහළ යාම අමෙරිකානු කොංග්රසය තුළ ද විවේචනයට ලක්ව තිබේ.
ට්රම්ප් පරිපාලනය 2027 මූල්ය වර්ෂය සඳහා අමෙරිකානු ඩොලර් ට්රිලියන 1.5ක වාර්තාගත ආරක්ෂක වියදම් අයවැයක් ඉල්ලා ඇති අතර, එයට එක් හේතුවක් ලෙස යුද්ධයේ අවශ්යතා දක්වා තිබේ.
කෙසේ වෙතත්, යුද්ධයට අදාළ වියදම් පිළිබඳ පැහැදිලි තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඩිමොක්රටික් පක්ෂයේ සෙනෙට් සභිකයන් 45 දෙනකු සහ ස්වාධීන සෙනෙට් සභිකයකු පසුගිය මාසයේදී ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගෙන් ලිඛිතව ඉල්ලා තිබිණි.
යුද්ධය සඳහා අතිරේක අරමුදල් අනුමත කිරීමට පෙර එහි සමස්ත පිරිවැය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කොංග්රසයට ඉදිරිපත් කළ යුතු බව ඔවුහු අවධාරණය කළහ.
යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමෙන් පමණක් අමෙරිකානු ජනතාවට අමතර ඩොලර් බිලියන 100ක පමණ බරක් පැටවී ඇති බවත්, ආහාර ද්රව්ය, නිවාස ණය සහ ගුවන් ගමන් ප්රවේශපත්ර වැනි වියදම් ඉහළ යාමෙන් තවත් ඩොලර් බිලියන 60කට ආසන්න අමතර බරක් ඇති වී තිබෙන බවත් එම සෙනෙට් සභිකයෝ ප්රකාශ කළහ.
කොංග්රසයේ අයවැය කාර්යාලය සැප්තැම්බර් මාසයේදී නිකුත් කළ වෙනම වාර්තාවකට අනුව, අගෝස්තු 1 වැනිදා වන විට ඉරානය සමඟ පැවති යුද්ධය සඳහා අමෙරිකාවට වැය වී තිබූ මුදල ඩොලර් බිලියන 38ක් පමණ වේ.
යුද්ධයේදී භාවිත කළ මිසයිල හා වෙනත් යුදෝපකරණ නැවත පිරවීම, විනාශ වූ උපකරණ ප්රතිස්ථාපනය කිරීම, ඉන්ධන වියදම් සහ අනෙකුත් මෙහෙයුම් වියදම් ද එම මුදලට ඇතුළත්ය.
ගැටුම තවත් මාසයකින් දිග්ගැස්සුණහොත් අමෙරිකාවට අමතර ඩොලර් බිලියන දෙකක් වැය වනු ඇතැයි එම කාර්යාලය ඇස්තමේන්තු කර තිබේ.
ජූලි මාසයේ පැවති මට්ටමට ආසන්න තීව්රතාවකින් යුද්ධය තවදුරටත් පැවතුණහොත් මාසික වියදම ඩොලර් බිලියන තුනක් දක්වා ඉහළ යා හැකි බව ද එහි සඳහන් වේ.