
මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ ඒකාබද්ධ කිරීමේ අරමුණින් සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කිරීම සඳහා වන ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය සහාය ලබා ගනිමින් මෙම නව දුම්රිය පාලම ඉදිකිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මහනුවර මහ නගර ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතී.
එම ව්‍යාපෘතිය යටතේ පේරාදෙණිය හරහා කඩුගන්නාව සිට ගම්පොළ දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමටත්, පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා මාතලේ දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමටත් සැලසුම් කර තිබේ.
දැනට පවතින තනි දුම්රිය මාර්ගය හේතුවෙන් ඇති වී තිබෙන ධාරිතා අවහිරතා ඉවත් කිරීම, දුම්රිය ජාලයේ විශ්වසනීයත්වය සහ සම්බන්ධතාව වැඩිදියුණු කිරීම එහි අරමුණයි.